‘උතුරු කොරියාවට එරෙහි පිළිවෙත අසාර්ථකයි’

  • 2017 මාර්තු 16
Image caption ඇමෙරිකානු ආරක්ෂක ලේකම් රෙක්ස් ටිලර්සන්

උතුරු කොරියාවේ 'යුදකරණය' පාලනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙතෙක් ගන්නා ලද සියලුම ප්‍රයත්නයන් අසාර්ථකභාවයෙන් නිම වූ බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් රෙක්ස් ටිලර්සන් පවසයි.

සිය පළමු ආසියානු සංචාරය ආරම්භ කරමින් ජපානයට ලඟා වූ ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා, තෝකියෝ නගරයේ දී ප්‍රකාශයක් කරමින් මතු වෙමින් පවතින උතුරු කොරියානු තර්ජනයට මුහුණ දීම සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය කරන බව කියා සිටියේය.

අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගතහැකි පියවර ප්‍රකාශයට පත් කරනු ලැබීම ප්‍රතික්ෂේප කළ ආරක්ෂක ලේකම් රෙක්ස් ටිලර්සන්, සාකච්ඡා මාවතකට පිවිසීම අතින් චීනයට ඉතා වැදගත් කාර්යභාරයක් පැවරෙන බවත් පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම්වරයා, උතුරු කොරියානු පාලනයට එරෙහිව සම්බාධක ක්‍රියාවට නැංවීම සඳහා චීනයේ පූර්ණ කැපවීම අවශ්‍ය බවත් සඳහන් කළේය.

'පියොන්ග්යැන්' පාලනයේ 'බිහිසුනුභාවය සහ එම නීත්‍යානුකූල නොවන බල අධිකාරිය ' මෙන්ම ඔවුන්ගේ 'බැලස්ටික්' මිසයිල ව්‍යාපෘතිය පාලනය කිරීම සඳහා කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාවත් ඔහු අවධාරණය කරයි.

ඇමෙරිකානු ආරක්‍ෂක ලේකම්වරයා ජපානයේ සංචාරයෙන් අනතුරුව දකුණු කොරියාවේ සහ චීනයේ ද සංචාරය කිරීමට නියමිතයි.