විශ්‍රාම වෙනසට බ්‍රසීල ජනතා විරෝධය

  • 2017 මාර්තු 16
Image copyright Reuters
Image caption සාඕපෝලෝ නුවර විරෝධතා දිරිගන්වමින් අදහස් දැක්වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා පැවසුවේ සුදුසු අවස්ථාවේදී ජනතාව නැගී සිටිනු ඇති බවය

සේවකයන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයේ වෙනස්කම්වලට විරෝධය පළ කරමින් දස දහස්ගණන් ජනතාව අද (මාර්තු16) බ්‍රසීලය පුරා විරෝධතාවල නිරතවූහ.

ඇතැම් පිරිස් බ්‍රසීලියා අගනුවර මුදල් අමාත්‍යංශ ගොඩනැගිල්ල පැය කිහිපයකට අත්පත්කරගත් අතර සාඕපෝලෝ හි පැවති විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් රථ වාහන ධාවනය අඩාල වී තිබිණි.

බ්‍රසීල ජනාධිපති මයිකල් ටෙමර් පැවසුවේ විශ්‍රාම දීමනා ඉහළ නොදැමීම සහ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීම රටේ මුල්‍ය කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් බවය.

බ්‍රසීල රජය සැලසුම් කර ඇත්තේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම සඳහාය. ඒ පිළිබඳව ජනතා කෝපය එල්ලවී ඇත්තේ දැනට තිබෙන වයස අවුරුදු 54 දී විශ්‍රාම දීමනා ලබාගැනීමේ හැකියාව ඒ මගින් අහිමිවන බැවිනි.

මේ අතර සාඕපෝලෝ නුවර විරෝධතා දිරිගන්වමින් අදහස් දැක්වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා පැවසුවේ සුදුසු අවස්ථාවේදී ජනතාව නැගී සිටිනු ඇති බවය.

"මම කැමතියි මේ වීදි බැහැපු ජනතාවට සුබ පතන්න. ඔබ සැම දෙනාම ජනතාවගේ හැඟීම්වලට හඬක් ලබා දී තියනවා. තමන් රැවටීමකට ලක්වුණා කියල හිතන අයට ඔබ ශක්තියක් වෙනවා. බ්‍රසීලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රජයක් පත්කරගන්නා අවස්ථාවේදී ජනතාව නැගී සිටීවි" යනුවෙන් ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර