"මැලේසියානු ක්‍රියාකාරිනිය වරදකරු කිරීම හෙළාදකිනවා"

  • 2017 මාර්තු 21
Image copyright No Fire Zone

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අළලා බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියකුවන කැලම් මැක්රේ විසින් නිර්මාණය කරන ලද 'No Fire Zone: The Killing Fields of Sri Lanka' නම් වූ වාර්තා චිත්‍රපටය මැලේසියාවේ ක්වාලාලම්පුර් හි තිරගත කිරීම සංවිධානය කිරීම මගින් එරට වාරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ලීනා හෙන්ඩ්රි නම්වූ මානව හිමිකම් ක්‍රියාකාරිනිය වරදකරු කිරීම හෙළා දකින බව නිවේදනයක් නිකුත්කරමින් දේශසීමා රහිත වාර්තාකරුවෝ (RSF) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මාධ්‍යවේදීන් (JDS) යන සංවිධාන පවසති.

දේශසීමා රහිත වාර්තාකරුවෝ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි හෙට (මාර්තු 22) දිනයේදී ලීනා හෙන්ඩ්රිට එරෙහි දඬුවම ප්‍රකාශකිරීමට නියමිත බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, වසර තුනක සිර දඬුවමක් හා රිංගිට් 30,000ක (යුරෝ 4,000) දඩයක් පැනවීමට නීතියෙන් ඉඩකඩ ඇති බව එහි දැක්වේ.

'දේශපාලනික ප්‍රතිප්‍රහාරයක්'

2013 ජූලි 3 වෙනිදා අදාළ චිත්‍රපටය ප්‍රසිද්ධියේ තිරගතකිරීමට බාධා කළ පොලිසිය ලීනා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුව ද, ඔවුන් දෙදෙනා පසුව නිදහස් කෙරිණි.

ක්වාලාලම්පුර් මහේස්ත්‍රාත් අධිකරණයේදී 2016 මාර්තු 10 පැවති මුල් නඩු විභාගයේදී ලීනා නිදොස්කොට නිදහස් කෙරුනද, පැමිණිල්ල විසින් අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය.

"විත්තියේ නීතිඥයින් පෙන්වාදෙන ආකාරයට ලීනා හෙන්ඩ්රි වරදකාරියක කිරීම දේශපාලනික ප්‍රතිප්‍රහාරයක්," යැයි දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානයේ ආසියා-ශාන්තිකර කලාපීය ප්‍රධානී බෙන්ජමින් ඉස්මයිල් පැවසීය.

"දහස් ගණනක් සිවිල් ජනතාවගේ ජීවිත අහිමි කළ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳ ප්‍රධාන පෙළේ වාර්තාමය චිත්‍රපටයක් තිරගත කිරීමට දිරිදෙනවා වෙනුවට, මහජනතාව උනන්දුවන විෂයක් වාරණයට ලක්කිරීමට මෙන්ම එය මහජනයා අතරට ගෙනයාමට ක්‍රියා කළ පුද්ගලයින්ට දඬුවම් කිරීමට පෙළඹවීමට තරම් ශ්‍රී ලංකා ආණ්ඩුවේ පීඩනය තමන් මත මුදා හැරීමට මැලේසියානු බලධාරීන් ඉඩ දී තිබෙනවා" යැයි කියා සිටි ඔහු, "ලීනා හෙන්ඩ්රි සතු තොරතුරු දැනගැනීමේ අයිතිය හා භාෂණයේ නිදහස යන මූලික අයිතීන් බරපතල උල්ලංඝනයකට තුඩු දෙන ආකාරයෙන් දී ඇති ඇය වරදකාරිය කිරීමේ තීන්දුව අහෝසි කරන ලෙස අධිකරණ බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටිනවා," යැයි පැවසීය.