මුබාරක් නිදහස්

  • 2017 මාර්තු 24
Image copyright AP
Image caption හොස්නි මුබාරක් යළි සිය නිවස කරා

පොලිස් රැඳවුම් භාරයේ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් අද (24) නිදහස් කරනු ලැබුණි.

'අරාබි වසන්තය' යනුවෙන් නම් කෙරුණ 2011 ඊජිප්තු මහජන නැගිටීමත් සමඟ බලය අහිමි වූ හොස්නි මුබාරක් වසර කීපයක්ම රැඳවුම් භාරයේ පසුවිය.

කලක් රෝගාතුරව සිටි හිටපු ඊජිප්තු නායකයා රඳවා සිටියේ කයිරෝ අගනුවර යුද හමුදා රෝහලකයි.

හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව බලයට පත් මුබාරක් ඊජිප්තුවේ සිව්වෙනි ජනාධිපතිවරයායි.

2011 සාමකාමී මහජන නැගිටීම මර්දනය කරමින් සිය ගණනක් මිනිස් ඝාතන සිදුකළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

එහෙත් ඊජිප්තුවේ ඉහළම අභියාචනා අධිකරණයක් මගින් එම චෝදනාවලින් ඔහු නිදහස් කරනු ලැබුණි.

ඒ අනුව තම සේවාදායකයා මුදා හරින ලද බව ඔහුගේ නීතිවේදියෙක් බීබීසියට ප්‍රකාශ කළේය.

මහජන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනාවලට වැරදිකරු කෙරුණ මුබාරක් වසර තුනක සිර දඬුවමකට යටත් කෙරුණ අතර රැඳවුම් භාරයේ සිටියදීම එම සිර දඬුවම ගෙවීමට ඔහුට සිදුවිය.