බ්‍රිතාන්‍යයේ රැකියාවලින් 30%ක් රොබෝවන්ට ?

  • 2017 මාර්තු 26
Image copyright AFP
Image caption දැනට පවතින රැකියාවලින් බ්‍රිතාන්‍යයේ 30% ක්ද ඇමරිකාවේ 38%ක් ද ජර්මනියේ 35%ක් සහ ජපානයේ 21% ක්ද ස්වයංක්‍රීය කරණය හේතුවෙන් දැඩි අවදානමකට ලක්වන බවයි පැවසෙන්නේ

වසර 2030 වන විට බ්‍රිතාන්‍යයේ රැකියාවලින් තුනෙන් එකක් දක්වා ප්‍රමාණයකට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය බලපානු ඇති බව නව අධ්‍යයනයක් මගින් හෙළි වී ඇත.

කෙසේවුවද, ඇතැම් රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද එම රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි නොවනු ඇති බවත් PWC විගණන ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එමෙන්ම නව තාක්ෂණයේ දියුණුවත් සමග ආර්ථිකයේ වෙනත් ක්ෂේත්‍ර තුළ නව රැකියා උත්පාදනය වනු ඇති අතර, නව වත්කම් නිර්මාණය කෙරෙනු ඇති බවත් එහි සඳහන්වේ.

නව තාක්ෂණය භාවිතයට පැමිණීමෙන් වඩාත් අවදානමට ලක්වන්නේ නිෂ්පාදන සහ වෙළඳ ක්‍ෂේත්‍රයේ රැකියා බව ද අධ්‍යයන වාර්තාවෙන් හෙළි වී තිබේ.

දෑතින් කරන රැකියා

බ්‍රිතාන්‍යයේ දැනට පවතින රැකියාවලින් 30% ක් ස්වයංක්‍රීය කරණය හේතුවෙන් දැඩි අවදානමකට ලක්වන බව එම අධ්‍යයනය මගින් ත්කසේරු කෙරේ.

දැනට පවතින රැකියාවලින් ඇමරිකාවේ 38%ක් ද ජර්මනියේ 35%ක් සහ ජපානයේ 21% ක් මෙසේ අවදානමට් ලක් වී තිබේ.

PWC ආයතනයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ ජෝන් හොක්ස්වර්ත් බීබීසීයට පැවසුවේ පහසුවෙන් පරිගණකගත කළ හැකි දැනට දෑතින් කරන රැකියා මෙහිදී වඩාත් අවදානමට ලක්විය හැකි බවය.

"සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි වැඩි මිනිස් මැදිහත්වීමක් සහිත රැකියා ආරක්‍ෂා වීමේ හැකියාවක් තියනව," යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

සේවා ස්ථාන වල රොබෝ තාක්ෂණය යොදා ගැනීම ඉහළ යෑම හේතුවෙන් ඇතැම් ක්‍ෂේත්‍ර වල රැකියා කරන්නෝ දැනටමත් මේ අභියෝගයට මුහුණදී සිටිති.

"රියැදුරන් රහිත දුම්රිය ට එරෙහිව දුම්රිය සේවාවල කෙරෙන වැඩ වර්ජන සිදුවන ආකාරය දැනටමත් දකින්න පුළුවන්," යනුවෙන් ආර්ථික විශේෂඥ ජෝන් හොක්ස්වර්ත් පැවසීය.

පුහුණුවීමේ පහසුකම්

අනාගතයේදී ට්‍රක් රථ රියදුරන්ට ස්වයංක්‍රීයව ධාවනය වන රථ හේතුවෙන් රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බව සඳහන් කළ ඔහු රියදුරන්ට මේ වෙනසට අනුගත වීමට සිදුවනු ඇති බවත් සඳහන් කළේය.

මේ තත්වය යටතේ ඉදිරි වසර දහයේ සිට විස්ස අතර කාලය තුළ අඩු කුසලතාවන්ගෙන් යුතු සේවකයන්ට නව කුසලතා සඳහා පුහුණුවීමේ පහසුකම් රජය මගින් ලබාදිය යුතු බව අදාළ වාර්තාවෙන් යෝජනා කර තිබේ.

එසේවුවද, රොබෝ තාක්‍ෂණය සහ පරිගණක බුද්ධිය මගින් අත්කරගන්නා වැඩි නිෂ්පාදන ධාරිතාව හේතුවෙන් ආර්ථිකයේ ඉහළ වර්ධනයක් ලබාගත හැකි බවද වාර්තාව පෙන්වා දෙයි.

"බොහෝ පැතිවලින් ස්වයංක්‍රීය කරණය කියන්නෙ හොඳ දෙයක්, ඒක නිෂ්පාදනය වැඩිවීමට හේතුවක් වෙන නිසා. නිෂ්පාදනය වැඩි නොවීම බ්‍රිතාන්‍යය මෑතක සිට මුහුණ දෙන ප්‍රශ්නයක්. ඒවගේම ආදායම වැඩිවීමෙන් වෙනත් ක්‍ෂේත්‍ර වල මිනිසුන් විසින් කරනු ලබන රැකියා සඳහා ඉල්ලුම වැඩිවෙන්න පුළුවන්," යනුවෙන් PWC ආයතනයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ ජෝන් හොක්ස්වර්ත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යයේ විරැකියාව ඉතා පහළ මට්ටමක පවතින අතර ඇතැම් රැකියා සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීම මගින් වෙනත් වැදගත් කටයුතුවල නිරතවීම පිණිස මිනිසුන්ට වැඩිපුර කාලය ලැබෙනු ඇති බව ද අදාළ අධ්‍යයන වාර්තාවේ සඳහන් වේ.

අවදානමට ලක්වන්නේ කිනම් රැකියාද?

ප්‍රවාහන සහ ගබඩා පහසුකම් - 56%

නිෂ්පාදන ක්‍ෂේත්‍රය - 46%

තොග සහ සිල්ලර වෙළඳාම - 44%

පරිපාලන සහ සහායක සේවා - 37%

මුල්‍ය සහ රක්‍ෂණ ක්‍ෂේත්‍රය -32%

වෘත්තීය, විද්‍යාත්මක සහ කාර්මික ක්‍ෂේත්‍රය -26%

ගොඩනැගිලි ක්‍ෂේත්‍රය 24%

කලා සහ ප්‍රාසංගික - 22%

කෘෂිකර්ම, වනාන්තර සහ මත්ස්‍ය කර්මාන්ත - 19%

මානව සෞඛ්‍යය සහ සමාජ සේවා- 17%

අධ්‍යාපනය - 9%

මුලාශ්‍ර - PWC

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර