හොංකොං පාලනයට නව නායිකාවක්

  • 2017 මාර්තු 26
Image copyright EPA
Image caption හොංකොං නව නායිකා කැරී ලෑම්

හොංකොං ජනතාව අතර පවතින බෙදීම් සහ ගැටුම් සුව කිරීමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව හොංකොං හි නායකත්වයට පත් පළමු කාන්තාව පවසයි.

එක්දහස් දෙසියයකට ආසන්න සාමාජිකයන් පිරිසකගෙන් සැදුම්ලත් විශේෂ කොමිසමක ඡන්ද විමසීමකින් අනතුරුව, 59 හැවිරිදි කැරී ලෑම් හොංකොං හි නායකත්වයට තෝරා ගැණින.

කොමිසමේ සාමාජිකයන් බහුතරය බෙයිජිං පාලනයට පක්ෂපාතීවන අතර, කැරී ලෑම් ටද බෙයිජිං පාලනයේ සහාය හිමි විය.

චීනයේ කොටසක්වන හොංකොං හි පවතින්නේ සීමිත ස්වයං පාලනයකි.

Image copyright Reuters
Image caption හොංකොං ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගන ක්‍රියාධරයන් මැතිවරණ දින වීදි බැස උද්ඝෝෂණයක නිරත වූහ.

හොංකොං පාලනයේ හිටපු නියෝජ්‍ය නායිකාව වූ ඇය, කොමිසමේ සාමාජිකයන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක ඡන්ද දිනා ගැනීමට සමත් වූවාය.

හොංකොං බහුතර ජනතාව ඇයගේ ප්‍රතිවාදියා වූ, හිටපු මුදල් ලේකම් ජෝන් සෑන්ග් ට සහාය දක්වන බව ඡන්ද විමසීමට පෙර පැවති මත විමසුම්වලින් අනාවරණය විය.

කෙසේ වෙතත් සිය නායකයා පත්කර ගැනීම සඳහා දායකවිය හැක්කේ රටවැසියන් අතරින් ඉතාම සීමිත පිරිසකට පමණි.

මෙය 'ප්‍රෝඩාකාරී' මැතිවරණයක් බව හොංකොං ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගන ක්‍රියාධරයෝ චෝදනා කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර