බංග්ලාදේශය: හමුදා වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනකු මරුට

  • 2017 මාර්තු 26
Image copyright AFP

ඉස්ලාමීය කැරලිකරුවන් රැඳී සිටින ගොඩනැගිල්ලක් වටලා මෙහෙයුමක් දියත් කර තිබෙන බංග්ලාදේශයේ ආරක්ෂක හමුදා කැරලිකරුවන් යයි සැකකෙරෙන දෙදෙනකුට වෙඩි තබා මරා දැමූ බව හමුදාව පවසයි.

ඊශානදිග බංග්ලාදේශයේ සිලෙට් නගරයේ පිහිටි පස් මහල් තට්ටු නිවාස සංකීර්ණයක ඉස්ලාමීය කැරලිකරුවන් පුපුරන ද්‍රව්‍ය ගබඩා කර ඇති බව විශ්වාස කෙරෙන අතර, එම ගොඩනැගිල්ලට ඇතුළු වීමට ආරක්ෂක හමුදා උත්සාහ දරමින් සිටියි.

ඊයේ (මාර්තු 25) එම තට්ටු නිවාස ගොඩනැගිල්ලෙන් පිටතට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර දෙකකින් හය දෙනෙකුවත් මිය ගියහ.

ප්‍රහාර වලින් තුවාල ලද පිරිසෙන් කීප දෙනෙකු මේවන විට බරපතළ තත්වයේ පසුවෙති.

ආරක්ෂක හමුදා සහ ගොඩනැගිල්ල තුළ සැඟවී සිටින කැරලිකරුවන් අතර හටගත් වෙඩි හුවමාරුව නැරඹීමට රොක් වූ විශාල පිරිස දෙසට එම බෝම්බ ප්‍රහාර දෙක එල්ල වී තිබුණි.

එක් බෝම්බ ප්‍රහාරයක වගකීම අයිඑස්, ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් භාර ගනු ලැබ තිබුන ද බංග්ලාදේශ පොලිසිය පවසන්නේ එම ප්‍රහාර ප්‍රාදේශීය ඉස්ලාමීය කැරලිකාර කණ්ඩායමක් විසින් සිදු කරන ලදැයි සැක කරන බවය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්