මුත්‍රා යාම නින්දට බාධාවක්ද ?

  • 2017 මාර්තු 26
Image caption වයස 50 ඉක්මවූ කාන්තාවන් සහ පිරිමින්ගෙන් අඩකට වැඩි පිරිසකට රාත්‍රී කාලයේදී නින්දෙන් අවදිවී මුත්‍රා කිරීමට යාමට සිදුවේ.

නින්දෙන් අවදි වී මුත්‍රා කිරීම සඳහා යෑමට සිදුවන පුද්ගලයන් තම ආහාරයේ ඇති ලුණු ප්‍රමාණය අඩුකළ යුතු බව ජපානයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් නිර්දේශ කරති.

'නොක්ටුරියා' නමින් හැඳින්වෙන මෙම රාත්‍රී කාලයේ මුත්‍රා කිරීමට අවශ්‍ය වීමේ රෝගී තත්වය මගින් ප්‍රධාන වශයෙන් වයස 60 ඉක්ම වූ පුද්ගලයන්ගේ නින්දට බාධා කෙරෙන අතර ඔවුන්ගේ ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි.

තුන් සියයකට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් සහභාගී වූ අධ්‍යයනයක් මගින් හෙළිවී ඇත්තේ ආහාර මගින් ලබාගන්නා ලුණු ප්‍රමාණය අඩු කිරීම මගින් මේ තත්වය මගගරවා ගතහැකි බවය.

ජපානයේ නාගසාකි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ සභාපතිවරයා තම සොයාගැනීම මුත්‍රවේදය පිළිබඳ යුරෝපා සංගමයේ ලන්ඩන් සභාවේ දී ඉදිරිපත්කළේය.

Image copyright Science Photo Library

ඒ අනුව වැඩි ලුණු ප්‍රමාණයක් ගත් සහ නිදාගැනීමේ ගැටළු වලට මුහුණ දුන් රෝගීන්ට ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය අඩුකරන ලෙස උපදෙස් දී මාස තුනක කාලයක් තිස්සේ අධ්‍යයනයට ලක්කර ඇත.

එහිදී දෙකකට වැඩි ගණනක්ව තිබූ රාත්‍රී කාලයේ මුත්‍රා කිරීම සඳහා ගිය වාර ගණන එක දක්වා අඩුවිය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් රාත්‍රී කාලයේ මෙන්ම දහවල් කාලයේදීත් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කළ අතර ඔවුන්ගේ ජීවන රටාවේ යහපත් වෙනසක් ද පෙන්නුම් කෙරිණ.

ප්‍රතිලෝම වශයෙන් සලකන කළ අධ්‍යයනයට යොදාගත් පිරිස අතරින් 98 දෙනෙකුගේ ලුණු භාවිත කිරීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වූ අතර රාත්‍රී කාලයේදී නිතර මුත්‍රා කිරීම සඳහා යාමට සිදුවිය.

අදාළ අධ්‍යයනයේ කර්තෘ ආචාර්ය මත්සුඕ තොමොහිරෝ පැවසුවේ මෙම අධ්‍යයනය අනුව වයස්ගත පුද්ගලයන්ට උපකාර කිරීමේ හැකියාව ලැබෙන නමුත් මෙසේ ලුණු වැඩි වීමෙන් මුත්‍රා පිටකිරීම වැඩිවීම වයස්ගත පුද්ගලයන්ට වැඩිවශයෙන් සිදුවන්නේ කුමන හේතුවක් නිසාදැයි අධ්‍යයනයක් මගින් සොයාගත යුතු බවය.

"අහාර ගන්නා ක්‍රමයේ වෙනස්කම් කිරීමෙන් පමණක් බොහෝ දෙනාගේ ජීවන තත්වයේ සාධනීය වෙනසක් කළ හැකිව තිබෙන බව මේ අධ්‍යයනය මගින් පැහැදිලි වෙනව," ඔහු පැවසීය.

බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ 'නොක්ටුරියාව' පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය මාකස් ඩ්රේක් පැවසුවේ යමෙකු ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය නොක්ටූරියාවට හේතුවන බව සාමාන්‍යයෙන් පිළිගැනීමක් නොතිබුණු බවය.

සුපුරුදු පරිදි වෛද්‍යවරුන් අවධානය යොමු කර තිබුණේ නින්දට යාමට පෙර රෝගියා පානය කරන ජලය ප්‍රමාණය සහ මුත්‍රාශයේ දුර්වලතා හේතුවන අතර පිරිමින්ගේනම් පුරඃතික ග්‍රන්ථියේ දුර්වලතා ද රාත්‍රී කාලයේ වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීමට හේතුවන බවය.

Image copyright Getty Images

"දැන් අපිට තියනව රෝගී තත්වය වැඩිදියුණු වන සෑම කරුණක්ම සලකා බැලිය හැකි ප්‍රයෝජනවත් අධ්‍යයනයක්," යනුවෙන් ඔහු පැවසීය.

වයස 50 ඉක්ම වූ කාන්තාවන් සහ පිරිමින්ගෙන් අඩකට වැඩි පිරිසකට රාත්‍රී කාලයේදී නින්දෙන් අවදිවී මුත්‍රා කිරීමට යාමට සිදුවේ.

මේ තත්වය වයස්ගත පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන අතර බොහෝවිට ඔවුන්ට එක් රාත්‍රියකදී අවම වශයෙන් දෙවතාවක් වත් මේ හේතුව නිසා නින්දෙන් අවදිවීමට සිදුවේ.

මෙසේ රාත්‍රියට මුත්‍රා කිරීම සඳහා අවදිවීමට සිදුවීම හේතුවෙන් ආතතිය, විඩාබර ගතිය සහ නුරුස්නා ගතිය ඇතිවීමට හේතුවේ.

________________________________________

වයස්ගත වීමේ අතුරු ආබාධ

වයසට යාමේදී හෝමෝන වල සිදුවන වෙනස්කම් හේතුවෙන් රාත්‍රී කාලයේ වැඩි මුත්‍ර ප්‍රමාණයක් නිපදවෙයි.

වයස්ගතවීමත් සමග ඇතැම් පිරිමින්ගේ පුරඃතික ග්‍රන්ථිය විශාල වීම සිදුවිය හැකිය.

විශාලත්වයට පත්වූ පුරඃතික ග්‍රන්ථිය මුත්‍රා පිටවන නාලය මත පීඩනයක් ඇතිකිරීමෙන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය වැඩියෙන් දැනීම සිදුවේ.

නොක්ටුරියා රෝග ලක්ෂණ දියවැඩියාව, හෘද රෝග හෝ නින්ද ආශ්‍රිත රෝග ඇතුළු සෞඛ්‍ය ගැටළු කිහිපයක සංඥාවක් ලෙස ද සැලකිය හැකිය.

________________________________________

ලුණු අධික ලෙස සැලකෙන්නේ කොතරම් ලුණු ප්‍රමාණයක් ද?

බ්‍රිතාන්‍යයේ සිටින වැඩිහිටියෙකු ගන්නා ලුණු ප්‍රමාණය දිනකට ග්‍රෑම් 06 කට නොවැඩි විය යුතු අතර එය සෝඩියම් ග්‍රෑම් 2.4 කට සමානය.

වයස අවුරුද්දේ සිට තුන දක්වා වූ ළමුන් ලුණු ග්‍රෑම් 2ක් පමණක් ගත යුතු අතර වයස හතේ සිට දහය දක්වා වුවන් ආහාරයට ගත යුත්තේ ලුණු ග්‍රෑම් 5 කි.

වයස 11 න් පසු ග්‍රෑම් 6 දක්වා ලුණු ප්‍රමාණයක් ආහාරයට ගැනීමට හැකිවේ.

________________________________________

ලුණු වැඩි ආහාර මොනවාද ?

උදෑසන ආහාරයට ගන්නා සීරියල් වර්ගවල ඔබ සිතනවාට වඩා ලුණු අඩංගුව තිබිය හැක.

බේකන්, හැම්, චීස්, ක්‍රිස්ප්ස් සහ පැස්ටාවලට එක්කරන රසකාරක ද අධික ලුණු සහිත ආහාර වේ.

ආහාර මිලදී ගැනීමේදී අසුරණයේ සඳහන් වී ඇති ග්‍රෑම් සීයක් සඳහා ඇති ලුණු ප්‍රමාණය කෙතරම් දැයි බැලිය යුතුය.

ලුණු වැඩි බවට සැලකෙන්නේ අහාර ග්‍රෑම් 100 ක් තුළ ලුණු ග්‍රෑම් 1.5 කට (සෝඩියම් ග්‍රෑම් 0.6කට) වඩා වැඩියෙන් තිබෙන විටදීය. එවැනි ආහාර රතු පැහැති වර්ණ කේතයකින් යුක්තවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර