සංචරණ තහනම : ට්‍රම්ප්ට හවායි ප්‍රාන්තයෙන් තවත් බාධා

  • 2017 මාර්තු 30
සංශෝධිත නියෝගයට ද එක්සත් ජනපදය පුරා විරෝධතා මතුවිණි Image copyright Getty Images
Image caption සංශෝධිත නියෝගයට ද එක්සත් ජනපදය පුරා විරෝධතා මතුවිණි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ සංචරණ තහනම අත්හිටුවමින් දී තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට හවායි හි ෆෙඩරල් විනිසුරු පියවර ගත්තේය.

ඒ අනුව, මුස්ලිම් බහුතරයක් වෙසෙන් රටවල් හයකට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ට්‍රම්ප් විසින් පනවන ලද සංචරණ තහනම ක්‍රියාත්මක කිරීමෙන් වළකනු ලැබ තිබේ.

හවායි ප්‍රාන්ත අධිකරණයේදී එම ප්‍රාන්තය පෙන්වා දුන්නේ තහනම ක්‍රියාත්මක කළහොත් එහි සංචාරක කර්මාන්තයට හා විදෙස් ශිෂ්‍යයන් මෙන්ම සේවකයින් ගෙන්වා ගැනීම කෙරෙහි අහිතකර ලෙස බලපාන බවය.

එහෙත්, සිය නියෝගය මගින් රට තුළට ත්‍රස්තවාදීන් ඇතුළුවීම වැළක්වීම අපේක්ෂා කරන බව ජනාධිපති ට්‍රම්ප් කියා තිබිණි.

කෙසේවෙතත්, ප්‍රාන්තයේ නීතිඥයින් මෙන්ම එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුවේ නීතිඥයින්ගේ තර්කවලට සවන් දුන් විනිසුරු ඩෙරික් වොට්සන්, තමා විසින් කලින් දෙන ලද තාවකාලික වාරණ නියෝගය දිගු කාලයකට බලපැවැත්වෙන මූලික තහනම් නියෝගයක් බවට හරවනු ලැබීය.

මාර්තු 6 වෙනිදා ජනාධිපති ට්‍රම්ප් අත්සන් කළ සංශෝධිත විධායක නියෝගය අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයට දින 90ක සංචරණ තහනමක් පැනවුනු අතර සරණාගතයින් සඳහා එය දින 120ක් විණි.

ට්‍රම්ප්ගේ සංශෝධිත නියෝගයට අනුව, ජනවාරි 27 වෙනිදා එළිදුටු මුල් නියෝගයට ඇතුළත්වූ ඉරානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව, සුඩානය හා යේමනයට යළි දින 90ක සංචරණ තහනමක් පැනවේ.

වීසා පරීක්ෂාව හා තොරතුරු හුවමාරුවට පිළිබඳ වැඩපිළිවෙල ඉහළ නැංවීම හේතුවෙන් ඉරාකය අදාළ ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව ධවල මන්දිර නිලධාරීහු පැවසුහ.

සිරියානු සරණාගතයින්ට පනවා තිබු කල් නියමයක් නොමැති තහනම මෙන්ම අදාළ රටවල ග්‍රීන් කාඩ් හිමියන් ද (එක්සත් ජනපදයේ නෛතික ස්ථිර නෙවසිකයින්) ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර