ලොයිඩ්ස් රක්ෂණ සමාගමේ අනුබද්ධ සමාගමක් බ්‍රසල්ස් නුවරට

  • 2017 මාර්තු 30
Image copyright Getty Images

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වන විට ඇතිවිය හැකි පාඩු මගහරවා ගැනීමේ අරමුණින් සිය අනුබද්ධ සමාගමක් බ්‍රසල්ස් නුවර ආරම්භ කරන බව ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන් (Lloyd's of London) සමාගම පවසයි.

ලන්ඩනය මූලස්ථාන කරගත් වසර 329 ක් පැරණි සමාගම ඒ බව නිවේදනය කළේ සිය වාර්ෂික මූල්‍ය වාර්තාව ඉදිරිපත් කරමිනි.

2019 ජනවාරි මාසය වනවිට බ්‍රසල්ස් නුවර අනුබද්ධ සමාගමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ද නිවේදනයේ සඳහන්වේ.

බ්‍රිතාන්‍යයේ පැරණිම ව්‍යාපාරික සමාගමක්වන ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන්, ලොව ප්‍රධානම රක්ෂණ සමාගමයි.

එහි ආදායමෙන් 11% ක් ලැබෙන්නේ යුරෝපා සමඟමය තුළ කෙරෙන ව්‍යාපාරික කටයුතුවලිනි.

බ්‍රසල්ස් නුවර ආරම්භ කෙරෙන්නේ අනුබද්ධ සමාගමක් පමණක් බව අවධාරණය කරන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ඉන්ගා බීල්, එමගින් බලපෑමක් සිදුවන්නේ 100 කට අඩු රැකියා ප්‍රමාණයකට පමණක් බව ද බීබීසී යට කියා සිටියාය.

700 කට ආසන්න පිරිසක් ලන්ඩනයේ සේවයේ නිරතවී සිටින අතර, ලොව පුරා වෙසෙන 30,000 කට අධික පිරිසක් ලොයිඩ්ස් ඔෆ් ලන්ඩන් සමාගමේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධවී සිටිති.

සිය ඇතැම් ව්‍යාපාරික කටයුතු යුරෝපය ඇතුළත වෙනත් නගරවලට මාරුකිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව වෙනත් මූල්‍ය ආයතන ද නිවේදනය කර තිබේ.

සිය සේවකයන් අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට මාරුකිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව බෑන්ක් ඔෆ් ඇමෙරිකා (Bank of America), බාක්ලේස් (Barclays) සහ මෝගන් ස්ටැන්ලි (Morgan Stanley) වැනි ආයෝජන බැංකු නිවේදනය කර තිබේ.

ෆ්‍රෑන්ක්ෆර්ට්, මැඩ්රිඩ් සහ ඇම්ස්ටර්ඩාම් නුවරවලට ද ඇතැම් ව්‍යාපාරික කටයුතු මාරුකිරීමට ඉඩ තිබේ.

මේ අතර එච්එස්බීසී (HSBC) බැංකුවේ සේවකයන් විශාල පිරිසක් පැරිස් නගරයට මාරු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සබැඳි විෂයයන්