ඩෙබී කුණාටුවෙන් ඔස්ට්‍රේලියාව වැළපෙයි

  • 2017 මාර්තු 30
Image copyright EPA
Image caption කුණාටුව සමඟ ජලගැල්මක්

ඕස්ට්‍රේලියාවේ 'ක්වීන්ස්ලන්ඩ්' ප්‍රාන්තය තුළ දිගටම පවතින ඉතා අයහපත් කාලගුණය හේතුවෙන් මහජනතාව ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම් පෙරට ගෙනයන මෙන් නියෝග කරනු ලැබ ඇත.

ප්‍රාන්තයේ නගර කීපයක් අතර සබඳතා දින දෙකක් ඇනහිටීමට හේතුවූ 'ඩෙබී' යනුවෙන් නම්කරනු ලැබ ඇති කුණාටුව, දකුණු දෙසට හමායාමත් සමඟ වෙරළාසන්න කලාපයේ වෙසෙන්නන්ට මුහුණ දීමට සිදුවිය හැකි තත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කරනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

මාසයකට සෑහෙන වර්ෂාව එක දවසක් තුළ ඇදවැටිය හැකි බවට 'බ්‍රිස්බේන්' නගරවාසීන්ට දැනුම් දී ඇත.

ඒ අතර, වෙනත් නගරවලට ඇදවැටිය හැකි වර්ෂාව එමෙන් දෙගුණයක් වියහැකි බවත් ප්‍රකාශ වේ.

සිය ගණනක් පාසල් වසාදමා ඇති අතර කොටු වී ඇති නගරවල ජනතාවට උදව් වීම සඳහා සන්නද්ධ හමුදා යොදවා සිටිති.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ නිල වෙබ් අඩවියකට අනුව 1200 කට අධික ළමා සත්කාර මධ්‍යස්ථාන වසා දමනු ලැබ ඇත.

Image copyright Getty Images
Image caption ඩෙබී ගොදුරු කරගත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය

පවතින තත්වය හමුවේ වෙළෙඳසල් වසාදමන ලෙසත් මහාමාර්ග වලට පිවිසීමෙන් වළකින ලෙසත් බලධාරීහු ඉල්ලා සිටිති.

මේ අතරවාරයේ ප්‍රකාශයක් කළ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් 'සොබාදහම ඕස්ට්‍රේලියානුවන් ඉදිරියේ කුරිරු වී ඇතැයි' කියා සිටියේය.

සිදු වූ විනාශයෙන් ගොඩ ඒමට කලක් ගතවිය හැකි බව හානියට පත් බොවෙන් (Bowen) නගරයේ සිට ප්‍රකාශයක් කරන අගමැති ටර්න්බුල් පවසයි.

කුණාටුව නිසා නිවාස 61000 කට පමණ විදුලිය නොමැති අතර ගොඩනැගිලි, උක් සහ තක්කාලි වගාබිම් විනාශ වූ බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.

Image copyright Getty Images
Image caption සිදු වූ විනාශය ගුවනින් අධීක්ෂණය කරන අගමැති ටර්න්බුල්

'ඩෙබී' කුනාටුව නිසා මහා බාධක කොරල් පරයටත් බොහෝදුරට හානි සිදුවන්නට ඇතැයි ඕස්ට්‍රේලියානු වාර්තාවන්හි දැක්වේ.