පරචිනාර් බෝම්බ ප්‍රහාරයෙන් විශාල ජීවිත විනාශයක්

  • 2017 මාර්තු 31
Image caption පුපුරන ද්‍රව්‍ය ඇටවූ මෝටර් රථය

වයඹ පකිස්තානයේ ඇෆ්ඝන් දේශසීමාව ආසන්නයේ පිහිටි පරචිනාර් (Parachinar) නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට ඇටවූ බෝම්බ ප්‍රහාරයකින් විසි දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව වෛද්‍ය කාර්ය මණ්ඩල පවසති.

මුස්ලිම් පල්ලියේ කාන්තා පිවිසුම් දොරටුව අසල පුපුරන ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක බෝම්බය අටවා තිබුණ බව පකිස්තාන් වාර්තා මගින් පැවසෙයි.

ප්‍රහාරයට ගොදුරුවූ තවත් පුද්ගලයන් හැත්තෑ දෙනකු පමණ තුවාල ලැබ බරපතළ තත්වයේ පසුවෙති.

Image caption ප්‍රහාරයෙන් අනතුරුව

බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ බැතිමතුන් ෂියා මුස්ලිම් පල්ලියේ සිකුරාදා යාඥා සඳහා එක්රැස් වෙමින් සිටියදීය.

ප්‍රහාරයට ගොදුරු වූ මුස්ලිම් පල්ලිය පිහිටි වයඹ පකිස්තානයේ පරචිනාර් ෂියා බහුතරයක් සහිත නගරයකි.

එම කලාපයට නිතරම මෙන් සුන්නි මුස්ලිම් ප්‍රහාර එල්ල වෙන අතර පසුගිය ජනවාරි මාසයේ ප්‍රහාරයකින් විසි දෙනකුට අධික පිරිසක් මරා දැමුණි.

Image caption පරචිනාර් නගරය ඇෆ්ඝන් දේශ සීමාවේ පිහිටා ඇත.

අද (31) ප්‍රහාරයට ගොදුරුවූ තුවාලකරුවන් යුද හමුදාව විසින් එම ස්ථානයෙන් ඉවත් කර ගත් අතර, ලේ පරිත්‍යාගශීලීන් රෝහල් කරා ලඟාවෙමින් සිටි බවත් වාර්තා වෙයි.