පැරගුවේ පාර්ලිමේන්තුව ගිනිබත් කෙරෙයි

  • 2017 අප්‍රේල් 1
Image copyright EPA
Image caption ඒකාධිපති පාලනයට එරෙහි ජනතා හඬ

ජනාධිපති හොරැසියෝ කාර්ටෙස් (Horacio Cartes )දෙවන වතාවටත් පදවිය සඳහා ඉදිරිපත් වීමට එරෙහිව දියත් කෙරෙමින් තිබුන විරෝධතා ව්‍යාපාර පෙරට යමින් තිබියදී සිදුකළ පොලිස් වෙඩි තැබීමකින් තරුණ ක්‍රියාධරයකු මරා දමන ලදැයි පැරගුවේ ප්‍රධාන විපක්ෂයේ නායකයා පවසයි.

පැරගුවේ විපක්ෂයේ බලවත්ම සංවිධානය වන ලිබරල් පක්ෂයේ නායක එෆ්රායින් අලෙග්රි Efrain Alegre) ප්‍රකාශයක් කරමින්, අසුන්සියෝන් (Asuncion) අගනුවර පිහිටි තම මූලස්ථානය ඇතුළේ රැඳී සිටි උද්ඝෝෂකයන්ට පොලිසිය වෙඩි තැබූ අවස්ථාවේ තුවාල ලද පුද්ගලයන් අතර මරණයට පත් තරුණයාත් සිටි බව සඳහන් කළේය.

Image copyright EPA
Image caption ගිනිබත් කළ කොන්ග්‍රස් මණ්ඩලය

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයට එරෙහි කෝපාවිෂ්ඨ විරෝධතාවාදීහු එම පොලිස් වෙඩි තැබීමට පෙර පැරගුවේ කොන්ග්‍රස් මණ්ඩලයට කඩා වැදී ගොඩනැගිලි ගිනිබත් කළහ.

ඒකාධිපති පාලනයක් කරා රට ඇද වැටීම වැලැක්වීම සඳහා බලපැවැත්වෙන නීති යටතේ බලයේ සිටින පැරගුවේ ජනාධිපතිවරයා යළි පදවිය සඳහා ඉදිරිපත් වීම තහනම් කරනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.

Image copyright Reuters
Image caption විරෝධතාවාදීන් මැඩලීමට පොලිස් බලඇණි

අවුරුදු තිස් පහක ඒකාධිපති පාලනයකින් පසුව 1992 දී සම්මත කරන ලද පැරගුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එක් පුද්ගලයකුට බලයේ සිටිය හැක්කේ වසර පහක එක් නිල කාලයක් පමණි.