දකුණු කොරියානු නැවක් අත්ලාන්තික් සාගරයේදී අතුරුදහන්

  • 2017 අප්‍රේල් 2

භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙමින් තිබූ දකුණු කොරියාවට අයත් විශාල නෞකාවක් දකුණු අත්ලාන්තික් සාගරයේ දී අතුරුදහන් වී තිබේ.

අතුරුදහන්වන විට නැවේ පුද්ගලයන් විසි හතර දෙනෙකු සිටි බව වාර්තා වෙයි.

උරුගුවේ නාවික හමුදා ප්‍රකාශක ඒඑෆ්පී පුවත් සේවයට සපයා ඇති තොරතුරු අනුව, අතුරුදන්ව ඇති යාත්‍රාවේ ගමන් කරමින් සිටි පිලිපීන ජාතික නාවිකයන් දෙදෙනෙක් ජීවිතාරක්ෂක බෝට්ටුවක මුහුදේ පාවෙමින් සිටියදී ගලවාගැනීමේ කණ්ඩායම් විසින් බේරාගනු ලැබ තිබේ.

සිය නැවේ විශාල කාන්දුවීමක් හටගෙන ඇති බව මීටර 312 ක දිගින් යුතු 'ස්ටෙලර් ඩේසි' බඩුනැවේ කාර්ය මණ්ඩලයේ නැවියෙකු පසුගිය සිකුරාදා (මාර්තු 31) දුරකථන පණිවුඩයකින් දන්වා තිබේ.

නැව සොයා මෙහෙයුම්

පණිවුඩය ලද වහාම උරුගුවේ නාවික හමුදාව විසින් ඒ අසල මුහුදේ යාත්‍රා කරමින් තිබූ වෙළඳ නැව් කීපයකට ඒ සම්බන්ධයෙන් දැනුම් දෙනු ලැබූ අතර ඔවුන් අනතුරට පත් නැව සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

සෝදිසි මෙහෙයුමේ නිරත වෙළඳ නැව් උරුගුවේ නාවික හමුදාව වෙත දන්වා ඇත්තේ නැව සොයා ගැනීමට නොහැකි අතර එම කලාපයේ අධික ඉන්ධන දුගඳක් වහනය වන බවය.

මේ වන විට බේරා ගනු ලැබුණු නාවිකයන් දෙදෙනාගේ ද සහය ඇතිව නැවේ ගමන් ගත් ඉතිරි නාවිකයන් විසි දෙදෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව දකුණු කොරියානු විදේශ අමාත්‍යංශය පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර