චීනයට ලෝහ පස් ගෙන යමින් තිබූ'ස්ටේලා ඩේසි' ගිලී ගියේ ඇයි ?

  • 2017 අප්‍රේල් 3
'ස්ටෙලා ඩේසි', යකඩ අඩංගු ලෝහ පස් තොගයක් චීනයට ගෙන යමින් සිටියාය Image copyright NSRI
Image caption 'ස්ටෙලා ඩේසි', යකඩ අඩංගු ලෝහ පස් තොගයක් චීනයට ගෙන යමින් සිටියාය

දකුණු අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය දකුණු කොරියානු නැවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සොයාගැනීම තරමක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ගලවාගැනීමේ කණ්ඩායම් පවසති.

පසුගිය සිකුරාදා සාගරය මැද බිදීගිය 'ස්ටේලා ඩේසි' නම්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් දෙදෙනෙකු පමණක් මේ වනවිට බේරාගෙන ඇත.

එහෙත් එතැන් සිට මේ දක්වා හමුවී ඇත්තේ ඉහිරීගිය ඉන්ධන, සුන්බුන් හා හිස් ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයක් පමණක් බව දකුණු කොරියානු රජය යෝන්හැප් පුවත් ආයතනයට පවසා ඇත.

නැවේ කාර්ය මණ්ඩලයට 24දෙනෙක් ඇතුළත් වූහ.

උරුගුවේ නාවික හමුදා ප්‍රකාශක ගස්ටන් ජෞන්සොලෝ රොයිටර් සේවයට පැවසුවේ "කාලය වැඩි වැඩියෙන් ගතවීමෙන් ඔවුන් සොයාගැනීමට ඇති ඉඩකට අඩුවනවා" යනුවෙනි.

උරුගුවේ වෙරළ තීරයේ සිට කිලෝමීටර 3,700ක් (සැතපුම් 2,300) ඈත මුහුදේදී අනතුරට පත් වූ 'ස්ටේලාර් ඩේසි' නෞකාවේ කාර්ය මණ්ඩලයට පිලිපීන ජාතිකයින් 16 දෙනෙකු හා දකුණු කොරියානු ජාතිකයින් 8 දෙනෙකු ඇතුළත් විණි.

Image caption උරුගුවේ වෙරළ තීරයේ සිට කිලෝමීටර 3,700ක් (සැතපුම් 2,300) ඈත මුහුදේදී නැව අනතුරට පත් විය.

දකුණු කොරියාවේ පොලරිස් ෂිපින් ආයතනයට අයත්, මාර්ෂල් දිවයින් ධජය යටතේ යාත්‍රා කළ එම සුවිසල් නැව බ්‍රසීලයේ සිට චීනය දක්වා යකඩ අඩංගු ලෝහ පස් ටොන් 260,000ක් ප්‍රවාහනය කරමින් තිබිණි.

'ජල කාන්දුව'

අවසාන වරට නැවෙන් ලද පණිවිඩය වුයේ එය අනතුරට ලක්ව ඇති බව දන්වමින් කොරියානු නැව් සමාගමට කාර්ය මණ්ඩල සාමාජිකයෙකු යවනු ලැබ ඇති කෙටි පණිවිඩයකි (SMS).

නැව කොටස් දෙකකට බැදී ගිලී ගොස් ඇත.

පසුගිය සෙනසුරාදා දිවි බේරාගත් පිලිපීන නාවිකයින් දෙදෙනා උරුගුවේ බලධාරීන්ට දන්වා ඇත්තේ, නැව තුළට ජලය කාන්දුවන අතර නැව බිදී යන බවට එහි කපිතාන්වරයා කාර්ය මණ්ඩලයට අනතුරු ඇඟවූ බවය.

එහෙත් 'ස්ටේලාර් ඩේසි' නව මෙවැනි අසීරු තත්වයකට පත්වුයේ ඇයිද යන්න පැහැදිලි නැති බව කී උරුගුවේ නාවික හමුදා ප්‍රකාශකවරයා, "එය යාත්‍රා කරන්නට අසීරු දවසක් වී තිබුනේ නැහැ" යැයි පෙන්වා දුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර