'වෙරි වී' පියාසර කිරීමට තැත් කළ ගුවන් නියමුවකුට සිර දඬුවම්

  • 2017 අප්‍රේල් 4
100ට අධික මගීන් පිරිසක් එම ගුවන් ගමනට එක්ව සිටියහ. Image copyright MARK KING/SUNWING AIRLINES
Image caption 100ට අධික මගීන් පිරිසක් එම ගුවන් ගමනට එක්ව සිටියහ.

ගුවන් ගමනකට පෙර නියමු කුටිය තුළ බමන මතින් සිටි ගුවන් නියමුවෙකුට කැනඩාවේ අධිකරණයකින් මාස අටක සිර දඬුවමක් පැනවිණි.

යානයේ පාලනය අතට ගනිද්දී ඊට සුදුසු තත්වයක නොසිටීම සම්බන්ධයෙන් මිරෝස්ලාව් ග්‍රොන්යිච් නම්වූ ස්ලෝවැක් ජාතික නියමුවා පසුගිය 21 වෙනිදා තමන් වරදකරු බව පිළිගත්තේය.

මේ වසර උදාවට ආසන්නයේදී වූ එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටි අදාළ නියමුවා මේවන විටත් දඬුවමින් සුළු කාලයක් ගෙවා ඇත.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, නෛතික සීමාවට වඩා තුන්ගුණයක ඇල්කොහොල් ඔහුගේ ශරීරගතව තිබු බව හෙළිවී තිබිණි.

සඳුදා (අප්‍රේල් 4) ඇල්බර්ටා පළාත් අධිකරණයේ විනිසුරු ඈන් බ්‍රව්න් චුදිත ගුවන් නියමුවාට වසරක පියාසර තහනමක් මෙන්ම කැනේඩියානු ඩොලර් 100ක දඩයක් ද පනවනු ලබුවාය.

නව වසර උදාවට ආසන්නයේදී කැල්ගරි හිදී යානයට ගොඩවූ ග්‍රොන්යිච් හට සිය කාබය රැඳවීමට මහත් පරිශ්‍රමයක් දරන්නට වූ අතර අධිකරණයේ දී කියවුණු ප්‍රකාශයක දැක්වුණේ යානයෙන් පිටවන ලෙස සහය නියමුවා කළ ඉල්ලීම බැහැර කරමින් ඔහු නියමු ආසනයට වූ බවය.

ඔහුගේ නිල ඇඳුමෙහි පියාසර සලකුණ උඩු යටිකුරු කොට පළඳවා තිබු අතර හෝටල් කාමරය තුළින් මත්පැන් බෝතලයක් ද සොගෙන තිබිණි.

සන්වින්ග් නම් අඩු මිල ගුවන් ගමන් සපයන සමාගමකට අයත් වූ ගුවන් යානය පසුව කැල්ගරි සිට මෙක්සිකෝවේ කැන්කුන් බලා පියාසර කළේ වෙනත් නියමුවකු යෙදවීමෙන් පසුවය.

100ට අධික මගීන් පිරිසක් එම ගුවන් ගමනට එක්ව සිටියහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමට සන්වින්ග් ගුවන් සමාගම ප්‍රතිචාර දක්වා නොතිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර