රුසියාවේ පිපිරීම : රෝහල්ගතව සිටි තිදෙනෙක් මියයති

  • 2017 අප්‍රේල් 4
Image copyright AFP
Image caption ජනාධිපති ව්ලදිමීර් පුතින් විපතට පත්වූවන්ට ගෞරව පුදමින්

පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හි උමං දුම්රිය මාර්ගයක සිදුවූ බෝම්බ පිපිරීමට වගකිවයුතු පුද්ගලයා රුසියානු පුරවැසිභාවය ලද කිර්ගිස්තාන ජාතිකයකු බව එරට ආරක්ෂක සේවය පැවසීය.

උමං දුම්රිය ස්ථාන දෙකක් අතර සිදුවූ එම පිපිරීමෙන් පුද්ගලයින් 49 දෙනෙක් තුවාල ලැබුහ.

කිර්ගිස්තාන විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට එක්වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොෆ්, "මේ දුෂ්ට බවට එරෙහිව එක්ව සටන්කිරීම සඳහා ඇති වැදගත්කම නැවත වරක් පෙන්වාදී තිබෙනවා" යැයි පැවසීය.

ශාන්ත පීටර්ස්බර්ග් නගර බලධාරීන්, සිද්ධියේදී මියගිය පුද්ගලයින් වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට ඇත.

රෝහල්ගතකර සිටි පුද්ගලයින් අතරින් තිදෙනෙකු මියයාමත් සමග මරණ සංඛ්‍යාව 11 සිට 14 දක්වා ඉහළ නැග ඇති බව රුසියානු සෞඛ්‍ය ඇමතිනි වෙරෝනිකා ස්ක්වොර්ට්සොවා පැවසුවාය.

පිපිරීම සිදුවන අවස්ථාවේ සිය නිජබිම වූ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සිටි රුසියානු ජනාධිපති ව්ලද්මීර් පුතින් ඊයේ ( අප්‍රේල් 3) එම ස්ථානයට ගොස් මල් කළඹ තැන්පත් කර විපතට පත්වූවන්ට ගෞරව පුද කළේය.

Image copyright AFP/GETTY IMAGES
Image caption ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං මාර්ග පද්ධතියට මීට පෙර ප්‍රහාර එල්ලවී නොතිබිණි.

ලෝක නායකයින්ගේ සහය

මේ අතර සිද්ධිය හෙළාදකිමින් රුසියාවට ලෝක නායකයින්ගේ සහය පළ විණි.

වගකිවයුත්තන් නීතිය හුමුවට ගෙන එම සඳහා "පුර්ණ සහය" දෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුතින් ජනාධිපතිවරයාට දුරකතනයෙන් දන්වා සිටි බව ධවල මන්දිරය පැවසීය.

පිපිරීම "ම්ලේච්ඡ ක්‍රියාවක්" බව ජර්මානු චාන්සලර් අන්ගේලා මර්කෙල් විසින් හඳුන්වනු ලැබූ අතර සිය සංවේගය පළකරමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ජනාධිපති පුතින් වෙත ලිපියක් යොමු කළාය.

පිපිරීම සිදුවූ ශාන්ත පීටර්ස්බර්ග් නුවර උමං දුම්රිය පද්ධතිය දෛනිකව මිලියන දෙකකට අධික මගීන් ප්‍රමාණයක් භාවිත කරන අතර මින් පෙර ප්‍රහාරයකට ලක්වී නොමැත.

කෙසේවුවද, රුසියාවේ ගමනාගමන පද්ධති කිහිපයක් මීට පෙර ප්‍රහාරවලට ලක්විණි. මොස්කව් නුවර උමං දුම්රිය පද්ධතිය ආශ්‍රිතව 2010 වසරේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකදී 38 දෙනෙක් මිය ගියහ.

ඉන් වසරකට පසුව, මොස්කව් හා ශාන්ත පීටර්ස්බර්ග් අතර අතර ධාවනය වෙමින් පැවති අධිවේගී දුම්රියක බෝම්බ පිපිරීමකින් 27 දෙනෙකු මියගොස් තවත් 130ට තුවාල සිදුවිය.

එම ප්‍රහාර දෙකෙහිම වගකීම ඉස්ලාමීය කණ්ඩායම් විසින් භාරගනු ලැබ තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර