රයිනෝ යළි පදිංචි කිරීමේ නේපාල ව්‍යාපෘතියක්

  • 2017 අප්‍රේල් 5
Image caption තනි අඟක් සහිත රයිනෝසරයෙක්

නේපාලයේ අතිශයින් දුර්ලභ ජීවීන් විශේෂයක් වන තනි අඟක් සහිත රයිනෝ ජීවීන් පස් දෙනකු දැනට ජීවත් වෙන වනගැබෙන් ඉවත් කොට වෙනත් ස්ථානයක පදිංචි කරවීමට එරට වන සත්ව සංරක්ෂණ නිලධාරීහු පියවර ගත්හ.

එවැනි පියවරක් ගනු ලබන්නේ මධ්‍යම නේපාලයේ ජාතික වන උයනක අධිසත්ව ගහනය අවම කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙනි.

එහි පළමු පියවරේදී තනි අඟක් සහිත රයිනෝ ජීවීන් තුන් දෙනෙක් ඖෂධ මගින් සාර්ථකව පාලනය කොට බටහිර නේපාලයේ අඩු සත්වගහනයක් සහිත සංරක්ෂිත වනයකට මුදා හරිනු ලැබ ඇත.

එලෙස මුදාහරින ලද එක් රයිනෝ දැවැන්තයෙක් වනජීවී ආරක්ෂකයකුට පහර දුන් බවක් ද වාර්තා වෙයි.

Image caption අඟ නිසා දඩයක්කාරයන්ට ගොදුරුව

රයිනෝ දැවැන්තයන් වෙනත් ස්ථානවල රැඳවීම එම ජීවීන්ට වැඩි ඉඩකඩ සහිත වාසභූමියක් ලබා දීමක් මෙන්ම ගවයන්ගෙන් බෝවෙන අසනීප වලට ඔවුන් ගොදුරුවීම වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ද වන බව නේපාලයේ සංරක්ෂිත වන භූමියක පාලකයෙක් බීබීසියට ප්‍රකාශ කළේය.

රයිනෝ වෙනත් ස්ථානවල පදිංචි කරනු ලැබීමේ නේපාල ව්‍යාපෘතිය එම ජීවීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමටත් ඔවුන් දඩයකරුවන්ට ගොදුරු වීම අඩු වීමටත් හේතු වී ඇත.