බාස්ක් ව්‍යාපාරය අවිආයුධ භාර දෙයි

  • 2017 අප්‍රේල් 8
Image caption බාස්ක් නිදහස් ව්‍යාපාරය නිරායුධාවීම ප්‍රකාශයට පත් කරමින්

ස්පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බිහිකර ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන ප්‍රචණ්ඩ අරගලයක නිරත වූ බාස්ක් ‌(ETA) බෙදුම්වාදී සංවිධානය තමන් අත ඉතිරිව ඇති අවි ආයුධ උත්සවාකාරයෙන් භාරදෙනු ලැබීම දකුණු ප්‍රංශයේ දී ආරම්භ විය.

දකුණු ප්‍රංශයේ 'බයෝන්' (Bayonne) නගරයේ පැවැත්වුන උත්සවයක දී ETA සංවිධානයට අයත් ඉතිරි අවි ආයුධ ඇති ස්ථාන ඇතුළත් ලිපිගොනු දොළහක් අතරමැදියන් විසින් ප්‍රංශ පොලිසියට භාරදෙනු ලැබුණි.

එම අවි තොගයට ගිනිඅවි සිය ගණනක් සහ පුපුරන ද්‍රව්‍ය ටොන් කීපයක් ඇතුළත් වෙයි.

ETA සංවිධානය නිරායුධ වීම ඒකපාර්ශ්වීය මට්ටමින් ගන්නා ලද තීන්දුවක් යයි පවසන ප්‍රංශ ආණ්ඩුව ඊට ප්‍රතිචාරයක් වශයෙන් කිසිදු සහන සැලසීමක් සිදුනොවන බව බවත් අවධාරණය කරයි.

ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර පිහිටි බාස්ක් ප්‍රදේශය, ස්පාඤ්ඤ පාලනයෙන් වෙන්කොට ස්වාධීන වෙනම රාජ්‍යයක් වෙනුවෙන් වසර හතළිහක සන්නද්ධ ප්‍රචණ්ඩ අරගලයක් ගෙනගිය ETA ව්‍යාපාරය 2011 වසරේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේය.

'බාස්ක්' නිදහස් අරගලයේ දී මහජන ජීවිත අටසිය පනහක් පමණ විනාශ විනැයි ඇස්තමේන්තු කෙරෙයි.