වඳුරන් සමග වාසය කළ දැරියක්?

  • 2017 අප්‍රේල් 8
Image caption දැරිය රෝහල වෙත රැගෙන එන විට මන්දපෝෂණයෙන් පෙළෙමින් සිටි වෛද්‍යවරු පවසති

වනගත වඳුරන් සමග වාසය කර ඇති බවට විශ්වාස කෙරෙන දැරියක් පිළිබඳ උතුරු ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දීය පොලිසිය අතුරුදහන් වූ දරුවන්ගේ ලැයිස්තු පිරික්සමින් එම දැරියගේ අනන්‍යතාව හඳුනා ගැනීමේ උත්සාහයක නිරත වී සිටී.

අවුරුදු අටත් දහයත් අතර වයසේ පසුවන බවට විශ්වාස කෙරෙන දැරිය මීට සති කීපයකට පෙර සොයාගනු ලැබුණේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි.

දැරියට කතාබස් කිරීමට නොහැකි බව පවසන වෛද්‍යවරු ඇය තුළින් වඳුරන්ට සමාන ගතිලක්ෂණ පිළිබිඹුවන බවත් කියා සිටිති.

ඉන්දීය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට කියා සිටියේ ඇය වඳුරු රංචුවක් සමග කෙලිසෙල්ලම් කරමින් සිට ඇති බවය.

වඳුරු ප්‍රහාරයක්

දැරිය බේරා ගැනීමට පොලිසිය එහි ගිය අවස්ථාවේ ඇය වඳුරන්ගේ හැසිරීම අනුකරණය කරමින් සිට ඇති බවත් එම පොලිස් නිලධාරියා පවසයි.

ඇය වඳුරන්ට සමාන හඬ නගමින් අත් සහ පාද වලින් ඇවිදමින් මින් සිටි බවත් ප්‍රකාශ වෙයි.

Image copyright Getty Images
Image caption දැරියට කතාබස් කිරීමට නොහැකි බව පවසන වෛද්‍යවරු ඇය තුළින් වඳුරන්ට සමාන ගතිලක්ෂණ පිළිබිඹුවන බවත් කියා සිටිති.

දැරිය, ඉන්දීය නේපාල දේශසීමාවේ පිහිටි 'කතර්නියාගත්' අභයභූමියට නුදුරු ගම්මානයක වැසියන්ගේ ඇස ගැටී තිබෙන අතර ඇය රැගෙන යාමට පැමිණි පොලිස් භට කණ්ඩායම වඳුරු රංචුවේ ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් නිලධාරි සුරේෂ් යාදේව් කියා සිටියේය.



දැරිය රෝහල වෙත රැගෙන එන විට ඇය මන්දපෝෂණයෙන් පෙළෙමින් සිටි බව කියා සිටි වෛද්‍යවරු ඇයගේ නිය සහ හිස කෙස් වැවී තිබූ බව සඳහන් කළහ.

ඇයගේ සිරුරේ තුවාල තිබුණු බවත් වෛද්‍යවරු පවසති.

'ජන්ගල් බුක්'

මේ වනවිට දැරියගේ සෞඛ්‍ය තත්වය වඩාත් හොඳ අතට හැරී ඇති අතර ඇය ළමා සුබසාධන ආයතනයකට භාර දෙනු ලැබීමට නියමිතය.

මේ දැරිය සහ 'ජන්ගල් බුක්' ළමා කතන්දර මාලාවේ සිටින 'මොව්ග්ලි' ළමා චරිතය සංසන්දනය කරමින් බොහෝ ඉන්දියානුවෝ අදහස් පළ කරති.

රුඩ්යාඩ් කිප්ලින් විසින් රචිත 'ජන්ගල් බුක්' කතාන්දරයේ මොව්ග්ලි නමැති කුඩා දරුවා හදා වඩා ගනු ලබන්නේ වෘක රංචුවක් විසිනි.

පසුගියදා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් සොයා ගනු ලැබුණ දැරිය කොපමණ කලක් වනයේ ගත කර ඇද්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්