මරණ දඬුවමට ලක්කිරීම ලොව පුරා අඩුවූයේ ඇයි ?

  • 2017 අප්‍රේල් 11
Image copyright Getty Images
Image caption පාකිස්තානයේ මරණ දඬුවම දීම 2015 වසරේ සිට 73%කින් පහළ ගොස් ඇත

ලොව පුරා මරණ දණ්ඩනය පැමිණවීම පසුගිය වසරේදී 37% ක පහළ යාමක් පෙන්වන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

ඒ අනුව පෙර වසරේදී අවම තරමින් 1,634ක් වූ මරණ දඬුවම දීමේ ප්‍රමාණය පසුගිය වසරේදී 1,032ක් දක්වා පහළ වැටී ඇත.

ක්ෂමා සංවිධානය පෙන්වාදෙන පරිදි ඉරානය සහ පාකිස්තානයෙන් වාර්තාවූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ අඩු තත්වය, මීට හේතුවී තිබේ.

අන් සියලු රටවල් එක්කරගත් විට එම ප්‍රමාණය ඉක්මවා යන මරණ දඬුවම් ප්‍රමාණයක් චීනයේ සිදුවී ඇතැයි විශ්වාස කෙරුනද, දත්තවල විශ්වසනීය බව අඩුවීම මත එරට දඬුවම් සංඛ්‍යාව අවධානයට ගෙන නැති බව ක්ෂමා සංවිධානය පවසයි.

2006 වසරින් පසු පළමුවරට මෙම ලැයිස්තුවේ මුල් රටවල් 5 අතරින් ඇමෙරිකාව ඉවත් කර ඇත.

ඉරානය සහ පකිස්තානයේ මරණ දඬුවම් ප්‍රමාණය අඩුවීමක් පෙන්වුවද, චීනය, සෞදි අරාබිය සහ ඉරාකය යන රටවල් සමග එම රටවල් පළමු රටවල් 5 අතර තවදුරටත් රැඳී සිටී.

2015 වසරේදී පාකිස්තානයේ මරණ දඬුවම් ප්‍රමාණය 326ක් වූ අතර පසුගිය වසරේදී එය 87 දක්වා පහළ වැටී ඇත.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ඉහළ අගයක් 2015 වසරේදී වාර්තාවූයේ, පෙෂාවර්හි පාසලකට එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, තාවකාලිකව නවතා තිබු මරණ දඬුවම දීම 2014 වසරේදී යළි ක්‍රියාත්මක කිරීමත් සමගය.

ඉන් අනතුරුව, ත්‍රස්තවාදී ක්‍රියාවලට අදාළ වැරදි සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයින්ගේ නඩු විභාග කළ හැකි හමුදා අධිකරණ පාකිස්තානය තුළ ස්ථාපනය කෙරිණි.

2016 වසරේදී මරණ දඬුවමට ලක්කෙරුණු පුද්ගලයින් අතරින් සිව් දෙනෙකුටවත් එම දඬුවම පනවනු ලැබුවේ එම හමුදා අධිකරණ විසිනි.

මානුෂික සමාජයක් උදෙසා මරණ දඬුවම 'අහෝසි කරන්න'

මරණ දඬුවම ඉවත් කරන්න - පාප් වහන්සේ

"ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්"

ඉරානය තුළ පසුගිය වසරේදී පුද්ගලයින් 567 දෙනෙකු මරණීය දණ්ඩනයට ලක්කර ඇති අතර එය 2015 වසරේදී 977ක් විය. කිසියම් නොපැහැදිලි හේතුවක් මත 2015 වසරේදී මරණ දඬුවම පැනවීම රැල්ලක් ලෙස නැගී ආ බව පවසන ක්ෂමා සංවිධානය පෙන්වාදෙන්නේ මියගිය පුද්ගලයින්ගෙන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිවලට හසුවූවන් බවය.

එසේ මරණයට ලක්කෙරුණු අය අතරින් අඩුම තරමින් දෙදෙනෙකු අදාළ වරදෙහි යෙදෙනවිට වයස අවුරුදු 18 ට අඩුවුවන් වූ බැවින් මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදය 1991 සිට මේ දක්වා වාර්තාවූ අඩුම මරණ දඬුවම් ප්‍රමාණය සටහන් කළ ද, ආර්කන්සෝ ප්‍රාන්තයේ මේ වසර තුළ ලැයිස්තුගතව ඇති "තැතිගන්නාසුළු මරණ දඬුවම් ප්‍රමාණය" සැළකීමේදී "ස්වරුපය කෙතරම් ඉක්මනින් වෙනස්විය හැකිද" යන්නට එය උදාහරණයක් බව එම සංවිධානය කියාසිටී.

Image caption 2016 වසරේදී මරණ දඬුවම පැමිණවීමේ තත්වය

චීනය අංක එකට

2016 වසරේදී ලොව පුරා මරණීය දණ්ඩනය දීමේ ප්‍රමාණය සැළකිය යුතු ලෙස අඩුවී තිබුනද, පසුගිය දශකයේ වාර්තාවූ සාමාන්‍යයට වඩා සමස්ත එකතුව ඉහළ අගයක පවතී.

චීනය ලොව අංක එකේ මරණ දඬුවම පනවන්නා බවට පත්ව සිටියද, ඒවායෙහි රහස්‍ය බව නිසාම සංඛ්‍යා ලේඛන තහවුරු කරගැනීමේ ගැටලු පැනනැගී ඇති බව ක්ෂමා සංවිධානය පවසයි.

එම සංවිධානය පවසන පරිදි, මරණ දඬුවම් "සිය ගණනක්" එරට දත්ත ගබඩාවෙන් අතුරුදන් වී ඇති බව විමර්ශනයකදී හෙළිවී ඇත.

මේ අතර, වසර ගණනක විරාමයකින් අනතුරුව බෙලරුසියාව හා පලස්තීන අධිකාරියද පසුගිය වසරේදී මරණ දඬුවම යළි ඇරඹු අතර බොට්ස්වානා සහ නයිජීරියාව 2013න් පසු සිය පළමු මරණ දඬුවම ක්‍රියාත්මක කළහ.

ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි :

  • සමස්තයක් ලෙස, මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම 28%කින් පහළ ගොස් තිබේ.
  • නයිජීරියාවේ තත්වය ඉහළ යාම හේතුවෙන් අප්‍රිකානු උප සහරා කලාපයේ මරණ දඬුවම 145%කින් ඉහළ ගොස් ඇත.
  • යුරෝපය සහ මධ්‍යම ආසියාව තුළ, මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටවල් දෙක බවට බෙලරුසියාව හා කසක්ස්තානය පත්ව තිබේ.
  • අනෙක් අතින්, රටවල් 104ක් නීතිමය වශයෙන් හෝ ප්‍රායෝගිකව මරණීය දණ්ඩනය ඉවත් කර ඇති අතර 1997දී එසේ කරන ලද රටවල් ගණන 64ක් විණි.
Image caption ලොව පුරා මරණ දඬුවම පැමිණවීම (1985 - 2016)

බෙනින් සහ නාවුරු යන රටවල් පසුගිය වසරේදී සියලුම ආකාරයේ වැරදි වෙනුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නැවතූ අතර ගිනී රාජ්‍යය සාමාන්‍ය වැරදි සඳහා පමණක් එය ක්‍රියාත්මක කිරීම ඉවත් කළේය.

තවත් රටවල් කිහිපයක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සීමා කිරීමට පියවර ගැනීම එම දඬුවම ඉවත් කිරීම කෙරෙහි ඇති ලෝක ප්‍රවනතාව තවදුරටත් තහවුරු කරන බව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පවසයි.

බීබීසී යෙන්