පාකින්සන් රෝගය 'සුවකිරීමේ ක්‍රමයක්?'

  • 2017 අප්‍රේල් 12
මොළයේ සෛල Image copyright SPL

පාකින්සන් රෝගය හේතුවෙන් හානියට පත් මිනිස් මොළයේ සෛල වෙනුවට අළුත් සෛල යෙදීම මගින් පාකින්සන් රෝගයට ප්‍රතිකාර කිරීමේ සහ ඇතැම්විට රෝගයේ අතුරු ආබාධ ආපසු හැරවීමේ ක්‍රමවේදයක් සොයාගත්තේ යයි විශ්වාස කරන බව විද්‍යාඥයෝ පවසති.

ඔවුන් පවසන්නේ පාකින්සන් රෝගය හේතුවෙන් විනාශ කෙරුණු සෛලවල ක්‍රියාකාරිත්වය භාරගැනීම සඳහා මිනිස් මොළයේ සෛල උපාය මාර්ගිකව පෙළඹවිය හැකි බවය.

එම ක්‍රියාදාමය මගින් පාකින්සන් රෝගය හා සමාන ලක්ෂණ දක්වන මීයන්ගේ රෝග තත්වය අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

'සාධනීය තත්වයක්'

මිනිසුන්ට එම අත්හදා බැලීම ආදේශ කිරීමට පෙර තවත් බොහෝ අත්හදා බැලීම් කළයුතුව තිබේ.

Nature Biotechnology සඟරාවේ ප්‍රකාශයට පත්කරන ලද පර්යේෂණ වාර්තාව රෝගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධ සාධනීය තත්වයක්වන නමුත් එය තවමත් මූලික අවධියේ පවතින්නක් බව විශේෂඥයෝ පවසති.

සිය නවතම සොයාගැනීම කෙතරම් දුරට ආරක්ෂිතද යන්න සහ පාකින්සන් රෝගය හේතුවෙන් අහිමිවන ඩොෆමයින් රසායනය නිපදවන නියුරෝන මෙන් පරිවර්තිත සෛලවලට ක්‍රියාකළ හැකිද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ පැවැත්විය යුතුව තිබේ.

ඩොෆමයින් රසායනය නිපදවන මොළයේ ඇතැම් සෛල විනාශ වී ඇති හෙයින් පාකින්සන රෝගය වැළඳුන පුද්ගලයෝ ඩොෆමයින් ඌණතාවයෙන් පෙළෙති.

එසේ මොළයේ සෛල විනාශ කරනු ලබන්නේ කුමක් මගින්ද යන්න තවමත් හෙළි වී නොමැත.

එහෙත් එහි ප්‍රතිඵලයක් ලෙසින් පාකින්සන් රෝගයෙන් පෙලෙන පුද්ගලයෝ ඇවිදීම අපහසුවීම සහ කම්පණය වැනි බෙලහීනතාවලට මුහුණ දෙති.

ශරීර ශක්තිය දුර්වල කෙරෙන එවැනි රෝග ලක්ෂණ අවප්‍රමාණ කළ හැකි ඖෂධ පවතින නමුත්, පාකින්සන් රෝග කාරකයට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් තවමත් සොයාගෙන නැත.

එබැවින් මෙතෙක් විද්‍යාඥයන්ගේ අවධානය පළ වී තිබුණේ රෝගය හේතුවෙන් අඩපණ කෙරුණු ඩොෆමයින් රසායනය නිපදවන නියුරෝන වෙනුවට මිනිස් මොලයට අළුත් සෛල එන්නත් කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳවය.

එහෙත් නවතම සොයාගැනීමට සම්බන්ධ වූ අන්තර්ජාතික විද්‍යාඥ පිරිස සිය අවධානය පළ කළේ සෛල එන්නත් කිරීමේ ක්‍රමවේදයක් ඇතුළත් නොවන ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳවය.

මොළය තුළ පවතින සෛලවල ක්‍රියාකාරිත්වය යළි වර්ධනය කිරීම පිණිස ඔවුහු කුඩා මවුල එකතුවක් භාවිත කළහ.

සබැඳි විෂයයන්