පළමු ඇමෙරිකානු මුස්ලිම් විනිසුරුවරියගේ සිරුර ගඟකින් ගොඩගනී

  • 2017 අප්‍රේල් 13
Image copyright Reuters
Image caption අබ්දුස්-සලාම් විනිසුරුවරියගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් බව නිව් යෝර්ක් හි නීතිපති පැවසීය.

ඇමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඉහළම අධිකරණයේ සේවය කළ ප්‍රථම කළු විනිසුරුවරිය වූ ශීලා අබ්දුස්-සලාම් ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හඩ්සන් නදියේ තිබී සොයාගෙන ඇත.

65 හැවිරිදි වූ ශීලා අබ්දුස්-සලාම් ප්‍රචලිතව සිටියේ ඇමෙරිකාවේ පළමු මුස්ලිම් විනිසුරුවරිය ලෙසය.

විනිසුරුවරිය අතුරුදන්ව ඇති බවට ඇගේ සැමියා විසින් වාර්තා කරනු ලැබ තිබු බව කී නිව් යෝර්ක් පොලිසිය, තමන්ට ලැබුණු හදිසි ඇමතුමකට අනුව හඩ්සන් නදියේ තිබු විනිසුරුවරියගේ සිරුර ගොඩගත් බව සඳහන් කළේය.

ඇයගේ සිරුර ඥාතීන් විසින් හඳුනාගනු ලැබ ඇති අතර මරණයට හේතුව තවමත් අනාවරණය වී නැත.

1952 වසරේදී වොෂිංටන් නුවරදී උපන් ශීලා අබ්දුස්-සලාම් 2013 වසරේදී ආණ්ඩුකාර ඇන්ඩෲ කුඔමෝ විසින් නිව් යෝර්ක් අභියාචනාධිකරණයට පත් කරනු ලැබිණි.

ඇයගේ අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක් බව නිව් යෝර්ක් හි නීතිපති එරික් ශ්නෛඩර්මන් පැවසීය.

නිව් යෝර්ක් හි කොලම්බියා නීති විද්‍යාලයෙන් උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ශීලා සිය නීති වෘත්තීය ඇරඹුවේ බ්රුක්ලින්හි අඩු ආදායම්ලාභී ජනතාව වෙත සේවය සලසමිනි. පසුව ඇය නිව් යෝර්ක් ප්‍රාන්ත සහකාර නීතිපති ලෙසද සේවය කළාය.

ඇමෙරිකානු දේශපාලන ඉතිහාසය පිළිබඳ ප්‍රින්ස්ටන් විශ්වකෝෂය විසින් ශීලා අබ්දුස්-සලාම් හඳුන්වා දෙනු ලැබ තිබෙන්නේ ඇමෙරිකානු විනිසුරුවරියක ලෙස සේවයට පිවිසි පළමු මුස්ලිම් කාන්තාව ලෙසය.