ඇමෙරිකාව ඇෆ්ඝන් සාම සාකච්ඡා බැහැර කරයි

  • 2017 අප්‍රේල් 14
Image caption තාලිබාන් ප්‍රහාරකයන්

රුසියාවේ මෙහෙයුමෙන් සිදු කෙරෙන ඇෆ්ඝන් සාම සාකච්ඡා අද (14) මොස්කව් නගරයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම සාකච්ඡා සඳහා තාලිබාන් ව්‍යාපාරය සම්බන්ධ කර ගැනීමට රුසියාව විසින් ගනු ලබන ප්‍රයත්නය සම්බන්ධයෙන් එකඟ නොවන ඇමෙරිකා එක්සත් ජනපදය ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කරයි.

තාලිබාන් කැරලිකරුවන් සඳහා හිමිවිය යුතු නැති පිළිගැනීමක් ඔවුන් සහභාගී කර ගැනීම මගින් එම සංවිධානයට ලැබෙන බව වොෂිංටන් බලධාරීහු පෙන්වා දෙති.

එසේම,රුසියාව තාලිබාන් ව්‍යාපාරය සමඟ ගනුදෙනු කිරීම මගින් නේටෝ යුද හවුල ඇෆ්ඝනිස්තානයේ සිදු කරන මෙහෙයුම් යටපත් වීමට ඉඩකඩ ඇති බවට එක්සත් ජනපදය කණස්සල්ල පළ කරන බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

මොස්කව් සාකච්ඡා වලට ඉන්දියාව සහ ඉරානය සමඟ මධ්‍යම ආසියානු රටවල් කීපයක් සහභාගී වීමට නියමිතයි.

Image caption සාමය ඉල්ලන ඇෆ්ඝන් දරුවන්

IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඇෆ්ඝන් භූමියේ ක්‍රියාත්මක වීම ආරම්භ වීමන් අනතුරුව එය සිය ආරක්‍ෂාවට අනතුරකැයි සිතන රුසියාව එතැන් පටන් ඇෆ්ඝනිස්තානය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටින බව බීබීසී වාර්තාකරුවෙක් පවසයි.