චුයින්ගම් හප ඉවත් කිරීමට පවුම් කෝටි හැටක්

  • 2017 අප්‍රේල් 15
Image copyright PA
Image caption ප්‍රාදේශීය පාලන ආයතන පවසන්නේ මහාමාර්ග සහ පදිකවේදිකා පිරිසිදු කිරීමේ කාර්යයේදී චුයින්ගම් නිෂ්පාදන සමාගම් වගකීමක් දැරිය යුතු බවය

බ්‍රිතාන්‍යයේ මහාමාර්ග සහ පදික වේදිකා පිරිසිදු කිරීමට වැය වන පවුම් කෝටි හැටක මුදලට සම්මාදම් වන ලෙස එරට ප්‍රාදේශීය පාලන ආයතන සංගමය චුයින්ගම් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එංගන්තයේ සහ වේල්සයේ ප්‍රාදේශීය පාලන ආයතන 370 කින් සමන්විත එම සංගමය වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටින්නේ, පදික වේදිකාවල ඇලී තිබෙන සපා ඉවතලූ චුයින්ගම් හප ඉවත්කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් බැවින් ඒ සඳහා සහාය වන ලෙසය.

එසේම චුයින්ගම් පිරිසිදු කිරීම සඳහා වසරකට වැයවන මුදල පවුම් කෝටි හැටක් වන බවද එම සංගමය පෙන්වාදෙයි.

'Keep Britain Tidy' නම්වූ පරිසරය සුරැකීමේ පුණ්‍යායතනයක් මගින් කළ සමීක්ෂණයකින් එංගලන්තයේ සහ වේල්සයේ මහාමාර්ග වලින් 99% ක් ද පදික වේදිකාවලින් 64%ක් ද අපවිත්‍රවී ඇත්තේ සැපීමෙන් පසු ඉවතලූ චුයින්ගම් හප නිසා බව හෙලිවී ඇත.

ප්‍රාදේශීය පාලන ආයතන නොකඩවා පවසන්නේ මහාමාර්ග සහ පදිකවේදිකා පිරිසිදු කිරීමේ කාර්යයේදී චුයින්ගම් නිෂ්පාදන සමාගම් වගකීමක් දැරිය යුතු බවය.

Image caption චුයින්ගම් නිෂ්පාදන සමාගමක් වන ව්රිග්ලි (Wrigley) පවසන්නේ මෙම ගැටලුව වෙනුවෙන් විසඳුම් සෙවීමට උත්සාහ ගන්න බවය

ඉවතලූ චුයින්ගම් හප පරිසරය අවලක්‍ෂණ කරන අතර එය අනුමත කළ නොහැකි දෙයක් බව ප්‍රාදේශීය සභා සාමාජිකාවක් සහ ප්‍රාදේශීය පාලන අධිකාරීන්ගේ සංගමයේ ප්‍රකාශිකාවක් වන ජුඩිත් බ්ලේක් ප්‍රකාශ කළාය.

"මේක වසංගතයක් වගේ. හරිම හිරිහැරයක්. මේවා පිරිසිදු කිරීමට යන වියදම පළාත්පාලන ආයතන වලට තනියෙන් දරන්න බැහැ" ඇය පවසන්නීය.

ඇය පවසන්නේ මෙම ප්‍රශ්ණයට පිළියමක් ලෙස බැක්ටීරියා මගින් විනාශවන ද්‍රව්‍ය යොදාගනිමින් චුයින්ගම් නිෂ්පාදනයකිරීම පිළිබඳව නිෂ්පාදකයන් අවධානය යොමුකළ යුතු බවය.

" පාරේ ඇලිල තියන චුයින්ගම් ඉවත්කරන්න අපි නීතියෙන් බැඳිල නැහැ. ඒත් අපි ඒක කරන්නෙ නගරයේ ඉන්න ව්‍යාපාරිකයන් සහ පදිංචි කරුවන් වෙනුවෙන්" යනුවෙන් ඇය පැවසුවාය.

මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ප්‍රධානපෙළේ චුයින්ගම් නිෂ්පාදකයෙක් වන ව්රිග්ලි (Wrigley) පවසන්නේ සැපූ චුයින්ගම් ඉවත නොදැමීමට පාරිභෝගිකයන් පෙළඹවීමට ඔවුන් උත්සාහ කරන බවය.

ආකල්පමය වෙනසක්

ඒ අනුව 'කසළවලින් තොර පරිසරයක්' යන තේමාව යටතේ පාසැල් වල වැඩසටහන් සිදුකෙරෙන අතර සපා අවසන් කළ චුයින්ගම් මහමගට දැමීම ආදී 'පුරුදු' පිලිබඳ විද්‍යාත්මක විසඳුම් සෙවීමද සිදුවන බව එම ආයතනය පවසයි.

පුද්ගලයින්ගේ ආකල්පමය වෙනසක් මගින් පමණක් මහාමාර්ග සහ පදික වේදිකා පිරිසිදුව තබා ගත හැකි බව පවසන ව්රිග්ලි (Wrigley) පවසන්නේ තමනට කළ හැකි සෑම දෙයක්ම කිරීමට කැපවී සිටින බවය.

ප්‍රාදේශීය පාලන අධිකාරී සංගමය පවසන ආකාරයට පැන්ස තුනක් තරම් සුළු මුදලක් ගෙවා මිලදී ගත් චුයින්ගම් සැපීමෙන් පසු ඉවත දැමීමෙන් පසු ඇලුනු පදික වෙදිකාවක වර්ග මීටරයක් සූරා ඉවත්කිරීම සඳහා පවුම් 1.50 ක මුදලක් වැයවන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර