උ.කොරියාවේ මිසයිල අත්හදාබැලීමක් වරදී

  • 2017 අප්‍රේල් 16
Image copyright Reuters
Image caption 'යුද්ධයකට' තමන් සුදානම් බව උ. කොරියාව පෙළපාලියේදී පැවසීය

කොරියානු අර්ධද්වීපයේ උණුසුම් තත්වයක් යළි නැග එමින් පවතී අවස්ථාවේ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමක් අසාර්ථක වූ බව දකුණු කොරියානු මෙන්ම ඇමෙරිකානු හමුදා නිලධාරීහු පවසති.

ඇමෙරිකාව පැවසුවේ, මිසයිලය මුදා හැර තත්පර කිහිපයකදී පුපුරා ගිය බවය.

ඊට පැය කිහිපයකට පෙර උතුරු කොරියාවේ පැවති විශාල හමුදා සංදර්ශනයකදී දිගු දුර විදිය හැකි යැයි සැළකෙන බැලිස්ටික් මිසයිල ද ප්‍රදර්ශනය කෙරිණි.

Image copyright Reuters
Image caption මිසයිලය අසාර්ථක වුයේ ප්යොංයැං හි පැවති පෙළපාලියේදී මිසයිල රැසක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවය

එක්සත් ජාතීන්ගේ යෝජනාද බිඳ දමමින් උතුරු කොරියාව මේ වනවිට න්‍යෂ්ටික පරීක්ෂණ පහක් මෙන්ම මිසයිල අත්හදා බැලීම් රැසක් ද ක්‍රියාත්මක කර ඇත.

කෙසේවෙතත්, අලුත්ම මිසයිල අත්හදා බැලීම අසාර්ථකවීම වාර්තාවූයේ ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවේ මිසයිල වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියාවට පැමිණෙද්දීය.

"උතුරු කොරියාවේ සින්පෝ ප්‍රදේශයේ සිට හඳුනා නොගත් මිසයිලයක් අත්හදා බලන්නට එරට උත්සාහ දැරුවා" යැයි පැවසු දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (අප්‍රේල් 16 ) දැරූ එම උත්සාහය අසාර්ථක වූ බවත් ඒ පිළිබඳව විමර්ශනය කරන බවත් සඳහන් කළේය.

එම අසාර්ථක මිසයිල අත්හදා බැලීම තහවුරු කළ ඇමෙරිකානු ශාන්තිකර කලාපීය විධානය, තමන් එම මිසයිල විදීම හඳුනාගත් අතර එය උතුරු කොරියානු බැලිස්ටික් මිසයිලයක් විය හැකි හැකි බව සඳහන් කළේය.

නම හෙළි නොකළ ඇමෙරිකානු නිලධාරියකු කියා සිටියේ එම මිසයිලය අන්තර් මහාද්වීපික මිසයිලයක් නොවිය හැකි නමුත් ඒ පිළිබඳ විමර්ශනය කරන බවය.

'ලොවට තර්ජනයක්'

උතුරු කොරියානු නායකයා තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට අණ දෙනු ඇතැයි මත පළවී තිබු අවස්ථාවක පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 14) සිය යුද ශක්තිය පෙන්වමින් එරට සමාරම්භක ජනාධිපති කිම් ඉල් සුං ගේ 105 වෙනි ජන්ම දිනය සමරුවේ දැවැන්ත හමුදා පෙළපාලියක් ද සමගිනි.

Image copyright Reuters
Image caption උතුරු කොරියාව කිම් ඉල්-සුං ගේ 105 වෙනි ජන්ම දිනය සැමරීය

"ඊයේ පැවති හමුදා පෙළපාලියේදී විවිධ වර්ගයේ ප්‍රහාරක මිසයිල ප්‍රදර්ශනය කළ උතුරු කොරියාව අද බැලිස්ටික් මිසයිලයක් විදීමට තරම් නිර්භීත බවක් පළකිරීමෙන් ලොවටම තර්ජනයක් බව පෙන්වා දෙනවා." යැයි නිවේදනයක් නිකුත් කරමින් දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය පැවසීය.

කොරියානු අර්ධද්වීපයේ උණුසුම් තත්වය තවත් ඉහළ නංවන්නට හේතුවූ කරුණක් වුයේ ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් එම කලාපය වෙත යැවීමත් සමගිනි.

Image copyright Reuters
Image caption කොරියානු අර්ධද්වීපයට යැවුණු 'යූඑස්එස් කාල් වින්සන්' ප්‍රහාරක යානා නෞකාව

සෙනසුරාදා පැවති හමුදා පෙළපාලියේදී උතුරු කොරියාවේ දෙවෙනි තැනට වඩාත් බලසම්පන්න නිලධාරියා ලෙස සැලකෙන එරට හමුදා නිලධාරියකු වන චෝ ර්යෝන්ග්-හේ පැවසුවේ "ඕනෑම න්‍යෂ්ටික ප්‍රහාරයකදී අපට අනන්‍ය වූ ක්‍රමයකින් න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අප සුදානම්" යනුවෙනි.

Image copyright AFP

"යුද්ධයේ ජයග්‍රාහකයකු නොවේවි"

මේ මාසය මුලදී උතුරු කොරියාව මාධ්‍ය දුර බැලිසිටික් මිසයිලයක් ජපාන මුහුද දෙසට විදිමින් අත්හදා බැලීමක යෙදුනේ සිය හිතවාදී රටක් ලෙස සැළකෙන චීනයේ ජනාධිපති සී ජින් පින්ග් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා සඳහා ඇමෙරිකාවට යාමට ආසන්නයේදීය.

මේ අතරේදී සිකුරාදා අනතුරු ඇඟවීමක් කළ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, "ඕනෑම වෙලාවක අර්බුදය පැනනගින්න පුළුවන්." යැයි පැවසුවේ යුද්ධයක් ඇතිවුවහොත් කිසිවකු හෝ ජයග්‍රාහකයකු නොවනු ඇති බව පෙන්වමිනි.

ලොව පුරා ඉලක්ක කරා ළඟාවිය හැකි අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයකට (ICBM) න්‍යෂ්ටික යුද ශීර්ෂයක් එක් කිරීම උතුරු කොරියාවේ අපේක්ෂාව බව කියවේ.

මිසයිල සඳහා යෙදිය හැකි කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික යුද ශීර්ෂ තමන් සතු බව ප්යොංයැං පාලනය පවසතත්, නිසි සාක්ෂි නොවීම මත විශේෂඥයෝ ඒ පිළිබඳ සැක පළකරති.

ඕනෑම ආකාරයක මිසයිල හෝ න්‍යෂ්ටික අත්හදාබැලීම් වළකමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනමක් පනවනු ලබා තිබුනද, උතුරු කොරියාව අඛණ්ඩව එම සම්බාධක බිඳ දමා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර