රනිල්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අගමැති රනිල් වියට්නාමයේ

  • 2017 අප්‍රේල් 17

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ ගනුදෙනු ඉදිරි වසර කීපය තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

වියට්නාමයේ තෙදින නිල සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එරට අගමැති නුයන් ස්වන් ෆුක් අතර අද (අප්‍රේල් 17) ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

වෙළඳ ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍ර ද ප්‍රවර්ධනය කිරීම සඳහා පදනම සැකසීමට එහිදී එකඟත්වය පළ වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ 1970 වසරේදීය.

වියට්නාම වාණිජ මණ්ඩලයේ වාර්තාවලට අනුව දෙරටේ වෙළඳාම 2015 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 192 ක් වන අතර 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 325.6 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර වියට්නාම නිල සංචාරය අවසන් කර, 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමට නියමිතව තිබුණ ද, මීතොටමුලලේ සිදුවූ ඛේදවාචකය හේතුවෙන් සිය සංචාරය කෙටි කොට කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණීමට අග්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.