බස් රථ පෙළට එල්ලවූ ප්‍රහාරයෙන් "ළමුන් 68දෙනෙක් මරුට"

  • 2017 අප්‍රේල් 17
Image copyright AFP
Image caption ප්‍රහාරයෙන් විනාශවූ බස් රථයක්

සිරියාවේ ගැටුම්වලට මැදිවී සිටින සාමාන්‍ය වැසියන් ඉවත්කරමින් සිටි බස් රථ පෙළට එල්ල වූ ප්‍රහාරයෙන් අවම තරමින් ළමුන් 68දෙනෙකුවත් මියගොස් ඇති බව ක්‍රියාධරයෝ පවසති.

එරට වේලාවෙන් සෙනසුරාදා (අප්‍රේල් 15) සවස 3.30 ට පමණ එල්ලවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ මුළු ගණන 126ක් බව නිරීක්ෂකයෝ පැවසූහ.

අලෙප්පෝ නගරයට ආසන්න, සටන්කරුවන්ගේ ග්‍රහණයේ ඇති ප්‍රදේශයක රථ පෙළ නවතා තිබියදී පුපුරන ද්‍රව්‍ය පුරවාගත් වාහනයක් පැමිණ එහි ගැටී තිබේ.

ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද එක්සත් රාජධානිය මූලස්ථානය කරගත්, මානව හිමිකම් සඳහා වූ නිරීක්ෂකයෝ පවසති.

ෂෙල් වෙඩි

Image copyright AFP
Image caption තුවාල ලැබූ ළමුන්

මේ අතරතුර දමස්කස් නුවරට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් තවත් පිරිසක් මියගොස් ඇති බවත් ඉන් වැඩි දෙනා ළමුන් බවත් සිරියානු රාජ්‍ය රූපවාහිනි සේවය වාර්තා කළේය.

ඔවුන් සඳහන් කළේ මෙම ෂෙල් වෙඩි ප්‍රහාරය "ත්‍රස්තවාදීන්" විසින් එල්ල කරනු ලැබ ඇති බවය.

සිරියානු රජය යටතේ පවතින නගරවල කොටුවී සිටින පුද්ගලයින් ඉවත්කරගනිමින් සිටි රථ පෙළට සෙනසුරාදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

අති උත්තම පාප් වහන්සේ විසින් මෙම ප්‍රහාරය හඳුන්වනු ලැබුවේ "පලායමින් සිටින සරණාගතයන්ට එල්ලකළ නවතම - අධම ප්‍රහාරය" ලෙසිනි.

ප්‍රහාරකයා කවුද?

Image copyright Reuters
Image caption ඉවත් කරගැනෙන්නන් එම මුරපොළේදී හුවමාරු කරගැනීමට නියමිතව තිබිණි

බෝම්බය පුපුරා ගියේ ආණ්ඩුවේ පාලනය යටතේ ඇති බටහිර අලෙප්පෝහි රශිදින්හි පිහිටි මුරපොළක් අසලදීය. ඉවත් කරගැනෙන්නන් එම මුරපොළේදී හුවමාරු කරගැනීමට නියමිතව තිබිණි.

මැදපෙරදිග කලාපය වෙනුවෙන් සිටින බීබීසී මාධ්‍යවේදිනී ලීනා සින්ජාබ් කියා සිටියේ ආහාර බෙදා දීම සඳහා එම ස්ථානයට පැමිණි වාහනයක් වෙතට ළමුන් විශාල පිරිසක් රොක්වූ බවය.

එම අවස්ථාවේදී ඒ අසලට තිබූ වෙනත් වාහනයක් පුපුරා ගිය ඇය ප්‍රකාශ කළාය.

සිරියානු රජයේ අවසරයකින් තොරව එම වාහනය මුරපොළ අසලට පැමිණියේ කෙසේදැයි පැහැදිලි නැති බවද ඇය පවසන්නීය.

මෙම ප්‍රහාරය කැරලිකරුවන් විසින් එල්ල කරනු ලැබ ඇති බවට සිරියානු රජය චෝදනා කළත් තවමත් එය සනාථ කිරීම සඳහා සාධක ඉදිරිපත්වී නොමැත.