බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්

  • 2017 අප්‍රේල් 18
බ්‍රිතාන්‍ය අගමැතිනිය

ලබන ජුනි 08 වෙනි දින බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ නිවේදනය කළාය.

යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අනතුරුව සිය ගමන් මග පිළිබඳ නිශ්චිතභාවය, දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වය මේ මොහොතේ බ්‍රිතාන්‍යයට අත්‍යවශ්‍ය බව ඇය සඳහන් කළාය.

ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපස දී කෙටි නිවේදනයක් කරමින් බ්‍රෙක්සිට් ජනමත විචාරණය පිළිබඳව සඳහන් කළ අගමැතිනිය, එයින් අනතුරුව රට යළි එකමුතු වෙමින් තිබෙන නමුත් පාර්ලිමේන්තුවේ එවැනි එකමුතුවක් නොමැති බව සඳහන් කළාය.

"අකමැත්තෙන් වුවත්" රටේ අවශ්‍යතා උදෙසා එම තීන්දුවට එළැඹීමට සිදු වූ බවත් අගමැතිනිය පැවසීය.

කොන්සර්වේටිව්-ලිබරල් සන්ධාන ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ නීතියක් ප්‍රකාර හදිසි මහ මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බැවින් අගමැතිනිගේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් බදාදා (අප්‍රේල් 18) පැවැත්වීමට නියමිතය.

නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් කැඳවීමේ තීරණයට විපක්ෂ නායක ජෙරමි කෝබින් ප්‍රසාදය පළ කර තිබේ.

2020 දී වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසාන වනතුරු මහ මැතිවරණයක් කැඳවීමේ අදහසක් නොමැති බව අගමැතිනිය මීට පෙර කිහිප වතාවක්ම අවධාරණය කර තිබේ.

සබැඳි විෂයයන්