"ප්‍රංශයට සංක්‍රමණිකයන් නවත්වනවා"

  • 2017 අප්‍රේල් 18
මරීන් ල පෙන් (Marine Le Pen) Image copyright Reuters

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තමන් බලයට පත්වුවහොත් සියලුම ආකාරයේ නීත්‍යානුකූල සංක්‍රමණිකයන්ගේ ආගමනය නවතා දමන බව ජනපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂිකාවකවන මරීන් ල පෙන් (Marine Le Pen) පැවසීය.

ප්‍රංශයේ පවතින "පාලනයකින් තොර, විකාරසහගත තත්වයට" නැවතීමේ තිත තබන බවත් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකාවවන ඇය මැතිවරණ රැළියක් අමතමින් සඳහන් කළාය.

ජනපතිවරණයේ ඉදිරියෙන්ම සිටින අනෙක් අපේක්ෂකයාවන මධ්‍යස්ත මතධාරී එමානුවෙල් මක්රෝන් (Emmanuel Macron) සමග ඇය කරට කර සිටින බව ජනමත සමීක්ෂණවලින් අනාවරණය වේ.

අන්ත වාමාංශික අපේක්ෂක ෂෝන් ලුක් මෙලෝෂෝ (Jean-Luc Mélenchon) ජනපතිවරයා ලෙසින් තෝරාගැනීම "සූර්යයා නොමැති කියුබාව" වැනි තත්වයක් වියහැකි බවට එමානුවෙල් මක්රෝන් අනතුරු අඟවා තිබේ.

Image copyright Reuters

ඉරිදා මැතිවරණයේදී එමානුවෙල් මක්රෝන් සහ මරීන් ල පෙන් දෙදෙනා, මැයි මස 07 වෙනි දින පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබනු ඇති බව ජනමත සමීක්ෂණවලින් පෙන්නුම් කෙරේ. එහෙත් දෙදෙනා අතර කරට කර තරගයක් පවතිනු ඇති බවත් විශ්වාස කෙරේ.

දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී එමානුවෙල් මක්රෝන් ඉදිරියෙන් සිටින බවද ජනමත සමීක්ෂණවලින් පෙන්නුම් කෙරේ.

පැරිස් නුවර පැවති මැතිවරණ රැළියක් අමතා කථා කළ මරීන් ල පෙන්, සියලු නීත්‍යානුකූල සංක්‍රමණිකයන් නවතා දමා ඒ වෙනුවට සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි නීති හඳුන්වා දෙන බව අවධාරණය කළාය.

එය සිය ආධාරකරුවන් සැනසීම සඳහා මරීන් ල පේන් විසින් කරන ලද ප්‍රංශ ජනපතිවරණ ව්‍යාපාරයේ "ඉතාම දැඩි මතධාරී දේශනයක්" බව වාමාංශික Liberation පුවත්පත පවසයි.

Image copyright AFP

ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටය සඳහා අපේක්ෂකයන් 11 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, ඡන්දදායකයන්ගෙන් තුනෙන් එකක් පමණම තවමත් කවරෙකු වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කරන්නේද යන්න පිළිබඳව තීරණයකට එළඹී නැති බවත් විශ්වාස කෙරේ.

එබැවින් මෙය ප්‍රංශ ජනපතිවරණ ඉතිහාසයේ ප්‍රතිඵලය පුරෝකථනය කළ නොහැකිම මැතිවරණයක් බව විශ්ලේෂකයන්ගේ විග්‍රහයයි.

සබැඳි විෂයයන්