කසල අර්බුදය: විරෝධය පෑ හය දෙනෙකු අධිකරණයට

  • 2017 අප්‍රේල් 21
කසල Image copyright Getty Images
Image caption කරදියාන කසල අංගනය

කැළිකසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා එල්ල කිරීමේ චෝදනා මත ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු හය දෙනකු අධිකරණයට කැඳවනු ලැබ තිබේ.

කොළඹ එක්රැස් වන කැළිකසල පිළියන්දල, කරදියාන කසල අංගනයට බැහැර කිරීමේ කටයුතුවලට පසුගිය 19 වෙනිදා විරෝධතාවක් දියත් කරමින් බාධා කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වේ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට ලබන 24 වෙනිදා කැස්බෑව අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.

බීබීසී සිංහල සේවය වෙත අදහස් පළ කරමින් පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි කියාසිටියේ නියමිත ප්‍රමාණය ඉක්මවා කරදියාන කසල අංගනයට අපද්‍රව්‍ය බැහැර කිරීමේ උත්සාහයක් පැවති බවය.

එසේ නියමිත ප්‍රමාණය ඉක්මවූ බැවින් විරෝධතාකරුවන් හා එක්ව සෙසු කුණු ලොරි හරවා යැවීමට තමන් කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති නියෝගය

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මීතොටමුල්ල වැසියෙකුගෙන් අගමැතිට ප්‍රශ්නයක්

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සම මතු වූ හදිසි ආපදා තත්වය සළකා බැලූ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අප්‍රේල් 17 වෙනිදා සිට 28 වෙනිදා දක්වා කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීමට කොළඹ මහා නගර සභාවට අවසර ලබා දුණි.

නමුත් එකී අධිකරණ නියෝගයට අනුව කරදියාන කසල අංගනයට දිනකට බැහැර කළ හැක්කේ කසල මෙට්‍රික් ටොන් 350 ක් පමණි.

ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණය විසින් දෙනු ලැබූ එම සීමාවට තමන් ඇතුළු විරෝධතාකරුවන් එරෙහි නොවූ බවය.



මේ අතර කසල බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ (අප්‍රේල් 20) නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රය ජනතා විමුක්ති පෙරමුණේ විවේචනයට ලක් විය.

එම ගැසට් පත්‍රයට අනුව කසල ගොඩ ගැසීමට විරෝධය පළ කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් කිරීමට හැකියාව ලබා දෙන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ කසල ගැටලුවට නිවැරදි විසඳුමක් දෙනවා වෙනුවට ඊට එරෙහිව බලය යෙදවීම හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර