කිලෝ ග්‍රෑම් 250 ක් අඩුකරගත් 'ලොව බර වැඩිම' කාන්තාව

  • 2017 අප්‍රේල් 21
Eman Abd El Aty now weighs 250kg, half of what she was believed to weigh when she arrived in Mumbai Image copyright SAIFEE HOSPITAL

ලෝකයේ බර අධිකම කාන්තාව ලෙස සැලකෙන ඊජිප්තු ජාතික කාන්තාවකගේ බර කිලෝ ග්‍රෑම් 250 කින් අඩුකිරීමට සමත් වූ බව ඇයට ප්‍රතිකාර කරන ඉන්දීය රෝහලක බලධාරීහු පවසති.

එමාන් අබ්ද් අල් අතී (Eman Abd El Aty) මුලින් කිලෝග්‍රෑම් 500 ක් බරැති වූ බව සඳහන් කරන ඇයගේ පවුලේ සාමාජිකයෝ, ඒ හේතුවෙන් විසි පස් වසරක් මුළුල්ලේ ඇයට සිය නිවසින් පිටතට යාමට නොහැකි වූ බවත් පවසති.

එයට ප්‍රතිකාර ගැනීම පිණිස බටහිර ඉන්දීය මුම්බායි නගරයේ සයිෆී (Saifee) රෝහලට ඇතුලත් වූ ඇය එහිදී මෙයින් මාස දෙකකට පෙර සැත්කමකට භාජනය කරනු ලැබුවාය.

ඉන් අනතුරුව දැන් ඇයට රෝද පුටුවකට ගොඩවිය හැකි අතර, දීර්ඝ වේලාවක් නැගිට සිටිය හැකි බවත් වෛද්‍යවරු පවසති.

ඇයගේ බර අඩුකිරීමේ ශල්‍යකර්මය මෙහෙයවනු ලැබුවේ ශල්‍ය වෛද්‍ය මුෆසාල් ලක්දවාලා (Muffazal Lakdawala) විසිනි.

Image copyright SAIFEE HOSPITAL

කිසිවකුගේ ආමාශයේ කොටසක් ඉවත්කරන 'බේරියටික්' (Bariatric) බර අඩුකිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලබන්නේ භායනක ලෙසින් අධික ස්ථුලභාවයෙන් පෙළෙන්නෙකුට ප්‍රතිකාර කිරීමේ අවසාන තුරුම්පුව ලෙසිනි.

ප්‍රතිකාරවලින් අනතුරුව රෝගියාගේ බර ඉතා වේගයෙන් අඩුවෙමින් පවතින නමුත්, ළමා වියේදී ආඝාතයට (stroke) ගොදුරුවීම හේතුවෙන් ඇයගේ ශරීරයේ එක් පැත්තක් තවමත් අඩපණව පවතින බව වෛද්‍ය ලක්දවාලා නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

එමෙන්ම ඇය කථාකිරීමේ සහ ආහාර ගිලීමේ අපහසුවෙන් පෙළෙන බවද නිවේදනයේ දැක්වේ.

එමාන් අබ්ද් අල් අතී ආඝාතයට ගොදුරු වූයේ මන්දැයි විමසා බැලීම පිණිස සීටී ස්කෑන් (CT scan) යන්ත්‍රයට ඇතුළු කිරීමට ප්‍රමාණවත් තරම් ඇයගේ බර අඩුවන් තුරු බලා සිටින බවද සයිෆී රෝහල සඳහන් කරයි.

උපතේදී කිලෝ ග්‍රෑම් පහක් පමණක් බර වූ ඇය, ඉන් අනතුරුව ආසාදනයක් හේතුවෙන් ශරීර කොටස් ඉදිමෙන රෝගයකට (elephantiasis) ගොදුරු වූ බව ඥාතීහු පවසති.

දැන් ඇයට ඇප උපස්ථාන කරනු ලබන්නේ ඇයගේ මව සහ සොහොයුරිය විසිනි.

මුම්බායේ දී කෙරුණු සැත්කමෙන් අනතුරුව කිලෝ ග්‍රෑම් 250 ක් බර අඩුවීම හේතුවෙන් ඇය තවදුරටත් ජීවතුන් අතර සිටින ලෝකයේ බර වැඩිම කාන්තාව නොවේ.