රුසියානු හමුදා උතුරු කොරියානු දේශසීමාවේ රඳවමින් ඇද්ද?

  • 2017 අප්‍රේල් 21
Image caption නවීන අවි වලින් සන්නද්ධ රුසියානු භටයන් -සංරක්ෂිත ඡායාරූපයකි

රුසියාව සිය උතුරු කොරියානු දේශසීමාවේ යුද හමුදා භටයන් සහ යුද උපකරණ ස්ථානගත කරමින් ඇති බවට රටතුළ පළවෙමින් පවතින වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබීම ක්‍රෙම්ලිනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

දේශසීමාවේ පටු බිම් තීරයක් කරා යුද උපකරණ ගෙන යමින් තිබෙනු තමන් දුටු බව රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන ලදැයි ඔවුන් උපුටා දක්වන වාර්තා මගින් ප්‍රකාශ වෙයි.

උතුරු කොරියාව සහ රුසියාව අතර දේශසීමා පරතරය කිලෝමීටර් එකොළහක් පමණි.

මේ අතර ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් අදහස් දක්වමින් රුසියාව තමන්ගේම දේශසීමාවේ හමුදා රැඳවීම කිසිවකුට ප්‍රශ්නයක් විය යුතු නැතැයි කියාසිටියේය.

Image caption උතුරු කොරියානු හිටපු නායක කිම් ජොන් ඉල් මොස්කව් සංචාරයක දී

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියානු හමුදා දින එකොළහක කාලයක් පැවැත්වෙන ඒකාබද්ධ යුද සරඹවල නිරත වෙමින් සිටිති.

වාර්ෂිකව පැවැත්වෙන මෙම යුද සරඹ සඳහා ප්‍රහාරක ගුවන්යානා ප්‍රවාහනය කෙරෙන නැව් සහ ප්‍රහාරක ජෙට්යානා යොදා ගනිමින් ඇත.

උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හමුවේ USS කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායමක් එම කලාපයට යාත්‍රා කරමින් සිටින බව ඇමරිකානු නාවික හමුදාව අප්‍රේල් 08 වෙනිදා නිවේදනය කර තිබුණි.

එහෙත් එම ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇති බවක් පසුව වාර්තා විය.