තාලිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් හමුදාවේ සීයකට අධික ජීවිත විනාශයක්

  • 2017 අප්‍රේල් 22
Image copyright Reuters
Image caption ප්‍රහාරයෙන් පසු හමුදා භටපිරිස් කඳවුර ඉදිරිපස විමසිල්ලෙන් සිටින අයුරු

ඇෆ්ගනිස්තාන් යුද හමුදා කඳවුරකට එල්ල කෙරුණ තාලිබාන් ප්‍රහාරයෙන් මරා දැමුණ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 130 දක්වා ඉහළගොස් ඇත.

එයින් වැඩිදෙනකු යුද හමුදා සොල්දාදුවන් බව වාර්තාවේ.

උතුරු ඇෆ්ගනිස්ථානයේ 'බාල්ක්' පළාතේ මසාර්- එ- ෂරීෆ් නගරයට නුදුරින් ඇති හමුදා කඳවුරේ සිකුරාදා පැවති ගැටුම පැය කිහිපයක් පැවතුණි.

තාලිබාන් සටන්කරුවන් විසින් කඳවුරේ මුස්ලිම් පල්ලියේ යාඥා මෙහෙයට සහභාගී වී ඉන් පිටව යන හමුදා භටයන් සහ ආපනශාලාවේ සිටි පිරිස ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කරන ලද ඇෆ්ඝන් යුද හමුදාව පවසයි.

ආරක්‍ෂක මුර කපොලු හරහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් යවමින් ප්‍රහාරය එල්ල කළ බව තාලිබාන් නිවේදනයක සඳහන් වේ.

එම ප්‍රදේශයෙන් ලැබෙමින් ඇති ආරංචි මාර්ග මගින් පැවසන්නේ මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

ගැටුමේ දී අවම වශයෙන් තාලිබාන් සටන්කරුවන් දස දෙනෙකුවත් මියගිය අතර එක් ප්‍රහාරකයකු අත්අඩංගුවේ පසුවෙයි.

හමුදා ඇඳුමින් සැරසුණු තාලිබාන් ප්‍රහාරකයන් යුද හමුදා ආරක්ෂක මුරපළවල් පසුකර පැමිණ ප්‍රහාරය එල්ලකළ බව හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.

ඇමරිකානු ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙක් මෙය 'දරුණු ප්‍රහාරයක්' ලෙස හැඳින්වූ අතර ඇෆ්ඝන් කොමාන්ඩෝ භටයන් විසින් තත්වය ක්ෂණිකව පාලනය කරනු ලබීම ඔහුගේ ප්‍රසංශාවට ලක්විය.

ඇෆ්ගනිස්තාන් ජාතික හමුදාවේ 29 වැනි බලකායට අයත් වන මසාර්- එ- ෂරීෆ් කඳවුර මෑතක සිට දැඩි සටන් පවතින කුන්දුස් ප්‍රාන්තය ඇතුළු උතුරු ඇෆ්ගනිස්ථානයේ වැඩි ප්‍රදේශයකට ආරක්ෂාව සපයන මූලස්ථානය ලෙස සැලකෙයි.

ජර්මානු සහ වෙනත් විදේශීය හමුදා භටයන් පිරිසක්ද එහි කඳවුරුලා සිටින බව වාර්තාවේ.

පසුගිය මාසයේ IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් කණ්ඩායමක් විසින් කාබුල් හි යුද හමුදා රෝහලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් පනස් දෙනෙකුට ජීවිත අහිමි විය.

මේ අතර වසරකට වැඩි කාලයක් පැවති සටනකින් පසුව දකුණු ඇෆ්ඝනිස්ථානයේ 'සන්ගින්' දිස්ත්‍රික්කය අල්ලා ගත්බව තාලිබාන් සංවිධානය නිවේදනය කරයි.