ගම්වැසි ප්‍රාණ ඇපයේ සිටි වියට්නාම් පොලිස් භටයන්ට නිදහස

  • 2017 අප්‍රේල් 22
Image caption ගම්වැසියෝ නිලධාරීන් පළවා හැර මාර්ග බාධක පනවා ගමේ පාලනය සියතට ගත්හ

ගම්වැසියන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබ සිටි තිස්අට දෙනකුගෙන් යුත් වියට්නාම් ආණ්ඩුවේ නිලධාරීන් සහ පොලිස් භටයන් කණ්ඩායම මුදා හරින ලද බව වාර්තා වෙයි.

එම කණ්ඩායමෙන් කොටසක් කලින් මුදා හැර තිබුණ අතර ඉතිරිව සිටි දහනව දෙනාත් මුදා හරිනු ලැබ ඇත.

ඉඩම් අයිතිය මුල්කරගත් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගම්වාසීන්ගේ ග්‍රහණයට පත් නිලධාරීන්ට සතියක පමණ කාලයක් ප්‍රාණ ඇපයේ සිටීමට සිදුවිය.

නිලධාරීන් කණ්ඩායම ප්‍රාණ ඇපයට ගත් ගම්වැසියන් සෙසු නිලධාරීන් ගමෙන් පළවා හැර එහි පාලනය ඔවුන්ගේ අතට ගෙන තිබුණි.

Image caption ප්‍රාණ ඇපයේ පසු වූ සියල්ලන් මේවනවිට මුදා හරිනු ලැබ ඇත

ඉහත කී මුදා හැරීම සිදු වී ඇත්තේ හැනෝයි නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙනි.

ගම්වාසීන්ට නඩු පවරන්නේ නැති බවට සහ 'ඩොන්ග් ටැම්' ජනයාගේ ඉඩම් අයිතිය පිළිබඳව යළි විභාගයක් පවත්වන බවට නගරාධිපතිවරයා ප්‍රතිඥාවක් දීමෙන් අනතුරුව නිලධාරීන් මුදා හරින ලදබව වියට්නාම් වාර්තා මගින් පැවසෙයි.

පාලකයන් සහ 'ඩොන්ග් ටැම්' ප්‍රජාව අතර මෙම ඉඩම් ආරාවුල ආරම්භ වුනේ වියට්නාම් යුද හමුදාවේ සන්නිවේදන කටයුතු සඳහා අක්කර 124 ක (හෙක්ටයාර් පනහක් ) ඉඩමක් පවරා ගනු ලැබීමත් සමඟයි.

එම ඉඩම් සඳහා තමන්ට ප්‍රමාණවත් වන්දියක් නොලද බව ගම්වැසියෝ පවසති.

Image caption නිලධාරීන් විශ්වාස කළ නොහැකි බව ගම්වැසියෝ පවසති

මෙවැනි ඉඩම් ප්‍රශ්න වියට්නාමයෙන් නිතර වාර්තා වෙයි.