ප්‍රංශ ජනපතිවරණය: එම්මානුවෙල්, ල-පෙන් ගැන මේ කරුණු දැන සිටියාද?

  • 2017 අප්‍රේල් 24
Emmanuel Macron and Marine Le Pen Image copyright AFP
Image caption එම්මානුවෙල් මැක්‍රෝන් සහ මරීන් ල-පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තරග කිරීමට නියමිතය

ප්‍රංශ ජනාධිපතිවරණය එරටට පමණක් නොව යුරෝපයේ සහ බටහිර දේශපාලනයේ අනාගතයට බලපාන වැදගත් සාධකයකි.

ඊයේ (අප්‍රේල් 23) ජනාධිපතිවරණ පළමු වටයේ ඡන්ද විමසුම පැවති අතර ඒ සඳහා තරග කළ අපේක්ෂකයන් එකොළොස් දෙනෙකු අතරින් දෙදෙනෙක් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තේරී පත් වූහ.

ඒ අනුව මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ල-පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තරග කිරීමට නියමිතය.

එම්මානුවෙල් මැක්‍රෝන්

දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන තිස්නව හැවිරිදි එම්මානුවෙල් මැක්‍රෝන් හිටපු බැංකුකරුවෙකි.

ඔහු ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක සහාය ද නොමැතිවය.

පළමු වටයේ ඡන්ද විමසුමේ ප්‍රතිඵලවලට අනුව ඉහළින් සිටින එම්මානුවෙල් මැක්‍රෝන් මැයි 07 වෙනිදා පැවතීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් එරට එම ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ඔහු වනු ඇත.

වසර හැටකට පසු ප්‍රංශයේ ප්‍රධාන වාමාංශික හෝ දක්ෂිණාංශික පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයේ දෙවෙන වටය සඳහා තේරී පත් නොවූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

පළමු වටයේ ප්‍රකාශිත ඡන්දවලින් 23.8% දිනා ගැනීමට එම්මානුවෙල් මැක්‍රෝන් සමත් වූ අතර 21.5% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට මරීන් ල-පෙන් සමත් විය.

මාධ්‍ය දක්ෂිණාංශික ෆ්‍රන්ෂුවා ෆියෝන් සහ අන්ත වාමාංශික ලුවෙක් මේලාෂෝ යන අපේක්ෂකයන්ට දිනා ගත හැකි වූයේ 20% ට අඩු ප්‍රතිශතයකි.



මරීන් ල-පෙන්

එම්මානුවෙල් මැක්‍රෝන්, ප්‍රංශයේ වත්මන් ජනාධිපති ෆ්‍රන්සූවා ඔලෝන්ද් ගේ ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ නමුත් එම ධුරයෙන් ඉවත්ව යුරෝපා සංගමයේ න්‍යාය පත්‍රයට හිතවාදී ලිබරල් මතවාදයට නැඹුරු 'එන් මාර්ෂ්' නමින් තමන්ගේම පක්ෂයක් පිහිටුවා ගත්තේය.

සිය පියාගෙන් පසු 2011 වසරේ ජනවාරි මාසයේ දී ජාතික පෙරමුණේ (Front National) නායකත්වය භාර ගත් මරීන් ල-පෙන් ප්‍රාදේශීය මැතිවරණයේ දී විශාල වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුවාය.

සංක්‍රමණිකයන්ගේ පැමිණීමට තිත තබා නිදහස් වෙළෙඳාමට වැට බඳින බව පවසන ඇයගේ පක්ෂයේ මතය වී ඇත්තේ යුරෝපය සමග ප්‍රංශය සතු සබඳතා වෙනසකට ලක් කළ යුතු බවය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර