ඉවන්කා ට්‍රම්ප්ට කාන්තා සමුළුවේ විරෝධය

  • 2017 අප්‍රේල් 25
ඉවන්කා, ජරමනියේ චාන්සලර් අන්ගෙලා මර්කල් සහ ක්‍රිස්ටීන් ලගාඩ් සමග Image copyright AFP/getty images
Image caption ඉවන්කා, ජර්මනියේ චාන්සලර් අන්ගෙලා මර්කල් සහ ක්‍රිස්ටීන් ලගාඩ් සමග

G20 කාන්තා සමුළුවකට සහභාගිවීම පිණිස ජර්මනියේ බර්ලින් නුවරට පැමිණ සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය, ඉවන්කාට සිය පියා කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ආකල්ප පිළිබඳව විරෝධතාවලට මුහුණදීමට සිදුවිය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව ඉවන්කා ජාත්‍යන්තර සංචාරයක යෙදෙන පළමු වතාව මෙයයි.

ජර්මනියේ චාන්සලර් අන්ගෙලා මර්කල් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් සමග ඉවන්කා ට්‍රම්ප් ව්‍යවසායිකාවන් පිළිබඳ වට මේස සාකච්ඡාවකට සහභාගි වූවාය.

Image copyright Getty Images

එහිදී ඇය සිය පියාගේ ප්‍රතිපත්ති ප්‍රශංසාවට ලක් කළ අවස්ථාවේ රැස්ව සිටි පිරිස එයට කෝපයෙන් ප්‍රතිචාරය පළ කළහ.

පසුගිය මාසයේ වොෂින්ටනයේ සංචාරයක නිරත වූ අන්ගෙලා මර්කල්, ජර්මනියේ සංචාරයක යෙදෙන මෙන් ඉවන්කා ට්‍රම්ප්ට ආරාධනා කළාය.

එහෙත් ධවල මන්දිරය තුළ ජනපති දියණියගේ කාර්ය භාරය කවරක් දැයි තවමත් පැහැදිලි නැත.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පාලනය තුළ ඉවන්කා ට්‍රම්ප් සහ ඇයගේ ස්වාමි පුරුෂයාවන ජෙයාඩ් කුෂ්නර් ක්‍රමයෙන් බලගතුවෙමින් සිටින හැඩක් දකින්නට ලැබේ.

"සිය කෙටි චාරිකාවේ ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපති දියණිය ජර්මනිය පිළිබඳව සාධනීය වාර්තාවක් සිය පියාට ඉදිරිපත් කරනු ඇතැයි," බලාපොරොත්තුවන බව ජරමනියේ Berliner Zeitung පුවත්පත මේ අතර පවසයි.

Image copyright Reuters
Image caption ජර්මනියේ සංචාරයක යෙදෙන මෙන් අන්ගෙලා මර්කල් ඉවන්කා ට්‍රම්ප්ට ආරාධනා කළාය

ඉවන්කා ට්‍රම්ප් වැටුප් නොලබන සහායිකාවක වශයෙන් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට එක්වන බව පසුගිය මාර්තු මාසයේ නිවේදනය කෙරුණි.

උපාධිය ලබා විශ්ව විද්‍යාලයෙන් පිටවී වසරකට පසුව ඇය සිය පියාගේ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වූ ඉවන්කා තමන් හඳුන්වා ගන්නේ ව්‍යවසායිකාවක වශයෙනි.