ව්‍යායාම සහ මානසික සෞඛ්‍ය ගැන මේ කරුණු දැන සිටියාද ?

  • 2017 අප්‍රේල් 25
Image copyright Getty Images

අවුරුදු පනහට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට සිය මනසේ ක්‍රියාකාරිත්වය තියුණු මට්ටමක පවත්වා ගැනීමට ගත හැකි හොඳම පියවර සතියකට කීප වරක් ව්‍යායාම කිරීම බව විද්‍යාත්මක අධ්‍යනයකින් හෙළිව තිබේ.

හදවත සහ මාංශපේශි නිසි ලෙස ක්‍රියාත්මකවන අයුරින් විධිමත් ව්‍යායාම කිරීමෙන් සිතීමේ හැකියාව සහ මතකය වර්ධනය කර ගැනීමට හැකි බව විද්‍යාත්මක අධ්‍යන තිස් නවයකින් තොරතුරු හෙළිව තිබේ.

සංජානන ක්‍රියාකාරකම් හීන වීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් පවා විධිමත් ව්‍යායාමවල යෙදීමෙන් පසු සිතීමේ ශක්තිය සහ මතක ශක්තිය වර්ධනය වීමේ ලකුණු පෙන්නුම් කරන බව විද්‍යාඥයෝ පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ කුමන වයස් සීමාවක පසු වුව ද මනස සහ ශරීරය ඉතා හොඳ සෞඛ්‍ය තත්වයක පවත්වාගෙන යාමට විධිමත් ව්‍යායාම ඉවහල් වන බවය.

ඉතා අභියෝගාත්මක ව්‍යායාමවල යෙදීමට අපොහොසත් වයස පනහ ඉක්මවූ පුද්ගලයන්ට පවා විධිමත් රටාවකට අනුව තායි චි වැනි පහසු ව්‍යායාමවල නිරත වීම සුදුසු බව බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක කරන ලද අධ්‍යනයක් පෙන්වා දෙයි.

මානසික රෝග වැළඳීමේ අවදානම

ශාරීරික ක්‍රියාකාරකම් විවිධ ලෙඩ රෝග වැළඳීමට ඇති අවදානම අඩු කරන බව දීර්ඝ කාලයක සිට අප දැනුවත් කරුණක්.

දෙවෙන කාණ්ඩයේ දියවැඩියාව ඇතැම් පිළිකා පමණක් නොව මැදි වයසේ දී ආරම්භවන මොළයේ ක්‍රියාකාරිත්වයේ සියුම් අඩු වීම් පවා හට ගැනීමට ඇති අවදානම අඩු කර ගැනීමට ව්‍යායාමවල යෙදීම ඉවහල් වේ.

ව්‍යායාම වල නිරත වීමෙන් මොළයේ ලේ ගමනාගමනය ක්‍රමවත් වන අතර එමගින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නිසිලෙස ලැබීමෙන් මොළයේ සෛල වල ක්‍රියාකාරිත්වය වැඩි වේ.

ඊට අමතරව මොළයේ නිපදවන හෝමෝන සහ නව ස්නායු සෛලවල ක්‍රියාකාරිත්වය වැඩි කිරීමටත් එමගින් විශාල පිටුවහලක් සැපයේ.

කැන්බරා විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක කරන ලද අධ්‍යනයකින් සති හතරක කාලයක් තුළ වැඩිහිටියෙකුගේ මොළයේ ක්‍රියාකාරකම්වලට විධිමත් ව්‍යායාමවලින් කෙරෙන බලපෑම මැන බැලීය.

ඒ අනුව ස්වායු ව්‍යායාම නැතහොත් 'ඇරොබික්' ව්‍යායාම මගින් වැඩිහිටියෙකුගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම් එනම් සිතීමේ ශක්තිය, කියවීම, ඉගෙනීම සහ යමකට බලපාන හේතුව හඳුනා ගැනීම වැනි හැකියාවන්වල වර්ධනයක් ඇති කරන බව එම අධ්‍යනයෙන් හෙළි වූ එක් කරුණකි.

ස්වායු සහ ශක්තිය වර්ධනය කිරීමේ ව්‍යායාම

ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කරගෙන විවිධ බර උපකරණ භාවිතයෙන් යෙදෙන ව්‍යායාමවලින් මතකය වර්ධනය, සැලසුම් කිරීමට සහ සංවිධානයට ඇති හැකියාව පමණක් නොව විධායක තීරණ ගැනීමට ඇති හැකියාව ද වර්ධනයවන බව අධ්‍යනයේ ප්‍රතිපල පෙන්වාදී ඇත.

වයස අවුරුදු පනහට වැඩි වැඩිහිටියන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවා ගැනීමට ස්වායු ව්‍යායාම සහ බර උපකරණ යොදාගෙන සිදු කරන මාංශ පේශී ව්‍යායාම යන වර්ග දෙකම සුදුසු බව මෙම අධ්‍යනයෙන් තහවුරු වූ බව කැන්බරා විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා සහ ව්‍යායාම පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ජෝ නොර්තෙයි ප්‍රකාශ කළේය.

"සතියකට එක් වරක් හෝ දෙවරක් ව්‍යායාමවල යෙදීමෙන් පවා ඔබගේ මොළයේ සංජානන ක්‍රියාකාරකම්වල වර්ධනයක් දකින්න පුළුවන්. නමුත් ඔබ සතියකට කිහිපවරක් විධිමත් ලෙස ව්‍යායාම්වල යෙදෙනවා නම් සංජානන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් ඇති කර ගන්න පුළුවන් බව මේ අධ්‍යනයෙන් හෙළි වෙලා තියෙනවා." ජෝ නොර්තෙයි පැවසුවේය.

Image copyright Getty Images

ඔහු වැඩි දුරටත් කියා සිටියේ යමෙකු නිසි ලෙස විධිමත් ව්‍යායාමවල යෙදෙන්නේ නම් ඔහු හෝ ඇය එම ව්‍යායාමවල නිරත වන අතරතුර තවත් පුද්ගලයෙකු සමග සාර්ථක කතාබහක නිරත වීමට හැකියාව තිබිය යුතු බවය.

වැඩිහිටියෙකු සතියක කාලයක් තුළ මිනිත්තු එකසිය පනහක කාලයක් විධිමත් ස්වායු ව්‍යායාම වල නිරත විය යුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය උපදෙස් දෙයි.

ඊට අමතරව මාංශ පේශී ඉලක්ක කරගනිමින් අඩුම තරමින් සතියකට දින දෙකක් වත් ව්‍යායාම වල නිරත විය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය නිර්දේශ කරයි.

බ්‍රිතාන්‍ය පොදු සෞඛ්‍ය සේවය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩිහිටියකුගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම යනුවෙන් නම් කරන ලද අධ්‍යන වැඩසටහන මෙහෙයවන වෛද්‍ය ජස්ටින් වාර්නි කියා සිටියේ ඕනෑම ආකාරයේ ශාරීරික ක්‍රියාකාරකමක් ශරීරයට සහ මනසට ගුණාත්මක ප්‍රතිපල අත්කරන බවය.

"මිනිත්තු දහයක කාලයක් ව්‍යායාම කිරීම පවා ඕනෑම පුද්ගලයෙකුගේ සෞඛ්‍යට හිතකර බලපෑමක් ඇති කරන්න ඉවහල් වෙනවා. මිනිත්තු 150 ක කාලයක් සතියක් තුළ ව්‍යායාම වෙනුවෙන් වෙන් කරනවා කියන්නේ ඩිප්රේෂන් නැතහොත් විෂාදය සහ චිත්ත වික්ෂේපය වැළඳීමට ඇති අවධානමෙන් තුනෙන් එකක් අඩු කර ගැනීමට වැඩිහිටියෙකුට ඉඩ සැලසෙනවා. එ විතරක් නෙවෙයි ඒ තුලින් මොළයේ ක්‍රියාකාරිත්වයේ විශාල වර්ධනයක් පවා ඇතිකර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා." වෛද්‍ය ජස්ටින් වාර්නි පැවසුවේය.

'ඇරොබික්' සහ ශක්තිය වර්ධනය කිරීම යන වර්ග දෙකේම ව්‍යායාම වල විධිමත් ලෙස නිරත වීමෙන් විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ විශාල ප්‍රමාණයකට හිමිකම් කියන්න ඔබට හැකියාව ලැබේ.

නිවසේ සිට පාපැදියකින් හෝ පයින් සේවා ස්ථානයට යාම ඉතා හොඳ ස්වායු ව්‍යායාමයක් ලෙසත්, නිවසට අවශ්‍ය බදු බාහිරාදිය පිරවූ මලු දෙකක් රැගෙන පෑ ගමනින් නිවෙසට යාම ශක්තිය වර්ධනය කිරීමේ ව්‍යායාමයක් ලෙසත් පෙන්වා දිය හැකි බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ව්‍යායාම පමණක් ප්‍රමාණවත් ද?

කෙසේ වෙතත් ස්කොට්ලන්තයේ කාර්ඩිෆ් විශ්ව විද්‍යාලයේ ස්නායුවේදය සහ මනෝ චිකිත්සාව පිලිබඳ මාහාචාර්ය ඩීන් බර්නෙට් , මෙම අධ්‍යයන මගින් ව්‍යායාම කිරීමෙන් මොලයට ඇතිවන සාධනීය බලපෑම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන නමුත් මොළයේ සෞඛ්‍ය හා බැඳුනු තවත් වැදගත් පැතිකඩ කීපයක් පවතින බව පෙන්වා දෙයි.

"අවුරුදු පනහට වැඩි වයසේ පසුවන පුද්ගලයන්ට හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ව්‍යායාම කළ යුතු බවට හොඳ පණිවුඩයක්, පීඩනයක් මෙමගින් ඇති කරනවා තමයි, නමුත් අපි වයසට යනකොට ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමේ අපහසුතා ඇති වෙනවා. මොකද අපේ සිරුර එතරම්ම නම්‍යශීලී නැහැ එ වයසේ දී. ශාරීරික ක්‍රියාකාරකම් තුළින් මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වෙනවා තමයි ඒත් මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වෙන්න බලපානේ ව්‍යායාම විතරක්ම නෙමෙයි." මාහාචාර්ය ඩීන් බර්නෙට් පැහැදිලි කළේය.

මහාචාර්ය ඩීන් බර්නෙට් වැඩිදුරටත් කියා සිටියේ පෝෂදායි සමබර ආහාර වේලක් ගැනීම, මත්පැන් පානය සීමා කිරීම සහ දුම් පානයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වීම, මානසික සෞඛ්‍ය වර්ධනයට සහ මොළයේ ක්‍රියාකාරකම් ඉහල නංවා ගැනීමට ව්‍යායාම කිරීම තරම්ම වැදගත් වන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්