‘ලිප්ස්ටික් අන්ඩර් මයි බුර්කා' වැඩිහිටියන්ට පමණයි

  • 2017 අප්‍රේල් 26
Image copyright jignesh panchal
Image caption 'Lipstick Under My Burkha' ජාත්‍යන්තර සම්මාන කීපයක් දිනා ඇත.

අලංක්‍රිතා ශ්‍රිවස්තව විසින් අධ්‍යක්ෂණය කරන ලද 'Lipstick Under My Burkha' සම්මානලාභී හින්දි සිනමා පටය ප්‍රදර්ශනය කිරීම අත්හිටුවමින් ඉන්දීය වාරණ මණ්ඩලය පැනවූ තහංචිය වාරණ මණ්ඩලයේ අභියාචනා කමිටුවක් විසින් ඉවත් කරනු ලැබ ඇත.

එම චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දියාවේ කුඩා නගරයක වෙසෙන කාන්තාවන් හතර දෙනකුගේ ජීවිත සහ ඔවුන්ගේ අභිලාෂයන් පිළිබඳ වෘත්තාන්තයකි.

මෙය අලංක්‍රිතා ශ්‍රිවස්තව (Alankrita Shrivastava ) අධ්‍යක්ෂවරියගේ දෙවන සිනමා නිර්මාණයයි.

'Lipstick Under My Burkha' සිනමා නිර්මාණය ලොස් ඇන්ජලීස් සහ තෝකියෝ සිනමා උළෙලවල දී ජාත්‍යන්තර සම්මාන දිනාගත් නමුත්, එහි ලිංගික දර්ශන සහ ප්‍රහාරාත්මක අප්‍රසන්න සංවාද ඇතුළත් වන්නේ යයි පවසමින් ඉන්දියාව තුළ ප්‍රදර්ශනය සඳහා අනුමැතිය දීම වාරණ මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

Image caption තහනම කාන්තා අයිතියට එරෙහි ප්‍රහාරයක්- අධ්‍යක්ෂිකා අලංක්‍රිතා ශ්‍රිවස්තව

සිනමා පටය තහනම් කරනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක් වෙමින් පැවති අතර තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනය සැලකිල්ලට ගත් වාරණ මණ්ඩලයේ අභියාචනා කමිටුව චිත්‍රපටයේ ඇතැම් දර්ශන ඉවත්කොට 'වැඩිහිටියන්ට පමණයි' සීමාව යටතේ එය ප්‍රදර්ශනය සඳහා අවසර දී ඇත.

ඒ හැර චිත්‍රපටයේ ඇතැම් දර්ශන වල ඇතුළත් දෙබස් අතර කියැවෙන 'ගණිකාවන්' යන තේරුම දෙන හින්දි වචන 'නිහඬ කර තබන' ලෙසත් අභියාචනා කමිටුව නිර්දේශ කරයි.

අධ්‍යක්ෂිකා අලංක්‍රිතා ශ්‍රිවස්තව සිය චිත්‍රපටය තහනම් කරනු ලැබීම විග්‍රහ කරන්නේ 'කාන්තා අයිතියට එල්ල කරන ලද ප්‍රහාරයක් ' හැටියටයි.