ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු ඉටු කළාද?

  • 2017 අප්‍රේල් 26
ට්‍රම්ප් පාලනයට දින සියයයි

පළමු දින සියය තුළ කළ හෝ නොකළ දේ අනුව ජනාධිපතිවරයකුගේ සාර්ථකත්වය මැන බැලීම තරමක් දුරට කෘත්‍රිම ක්‍රියාදාමයකි.

අනෙක් අතට, ජනාධිපතිවරයකුගේ ගමන් මාර්ගය සහ සිය ප්‍රතිඥා ඉටුකිරීමෙහිලා ඔහුගේ ප්‍රගතිය පිළිබඳව දළ අදහසක් ලබාගැනීමට දින සියයක් හොඳටම ප්‍රමාණවත්ය.

පැහැදිලිවම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයේ පළමු දින සියය මන්දගාමී හෝ උදාසීන මාස කිහිපයක් නොවීය.

මේ එම දින සියයේ කඳු මුදුන් සහ නිම්න පිළිබඳව කෙරෙන කෙටි විමසුමකි.

මෙක්සිකෝ තාප්පය

එක්සත් ජනපදයේ මෙක්සිකෝ දේශසීමාව ඔස්සේ තාප්පයක් ඉදිකිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පැරණිම සහ ප්‍රධානම ප්‍රතිඥාවකි.

ඒ සඳහා වැයවන පූර්ණ වියදම මෙක්සිකෝව විසින් දරනු ඇති බවට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා මැතිවරණ වේදිකාවේ ප්‍රතිඥා දෙන විට, ඔහුගේ ආධාරකරුවෝ ප්‍රීතිඝෝෂා නැගූහ.

Image copyright Getty Images

එහෙත් වේදිකාවේ ප්‍රතිඥා දීම තරම් එම පොරොන්දු ඉටුකිරීම පහසු කරුණක් නොවන බව ජනාධිපති ට්‍රම්ප් දැන් වටහා ගනිමින් සිටියි.

තාප්පය ඉදිකිරීම සඳහා කිසිදු මූල්‍ය දායකත්වයක් නොදක්වන බව මෙක්සිකෝව අවධාරණය කරන අතර, ඒ සඳහා ඇමෙරිකානු මහජන මුදල් කිරීම පිළිබඳව දිමොක්රතික් පක්ෂයේ මෙන්ම ජනාධිපතිවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ කොන්ග්‍රස් සභිකයෝද විරෝධය පළකරති.

ප්‍රතිඵලය - ප්‍රතිඥාව ඉටු කර නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය

ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ප්‍රකාශයට පත්කරන ලද නම් අතරින් විනිශ්චයකරුවෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුව පැවති විනිශ්චයකරු තනතුරට පත්කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේය.

Image copyright Getty Images

නීල් ගෝර්සුච් (Neil Gorsuch) තෝරාගැනීම මගින් ඔහු එම ප්‍රතිඥාව ඉටු කර තිබේ.

ප්‍රතිඵලය - ප්‍රතිඥාව ඉටු කර තිබේ.

සෞඛ්‍ය සේවය

"සෞඛ්‍ය සේවය කියන්නේ මෙතරම් සංකීර්ණ දෙයක් කියල කවුරුවත් දැනගෙන හිටියේ නැහැ."

ජනාධිපති ඔබාමා විසින් හඳුන්වා දෙන ලද සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය (Obamacare) අහෝසි කරන බවට දිගින් දිගටම ප්‍රතිඥා දුන් ට්‍රම්ප්ට, පදවියේ දිවුරුම් දී සති කිහිපයක් ඇතුළත එවැනි ප්‍රකාශයක් කිරීමට සිදුවූයේ ඒ සඳහා විපක්ෂයේ නොව සිය පක්ෂයේම සෙනෙට් සභිකයන් පවා එකඟ කරගැනීමට දුෂ්කර බව වටහාගැනීමත් සමගය.

Image copyright Getty Images

ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව පළමු දිනයේදීම Obamacare අහෝසි කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් වරක් ප්‍රතිඥා දුන්නේය.

එහෙත් පදවි ප්‍රාප්තියෙන් දින 64 කට පසුව, ඒ සඳහා තමන් කාලසීමාවක් නියම නොකළ බව ඔහු පැවසුවේ පොරොන්දු දීම තරම් ඒවා ක්‍රියාත්මක කිරීම පහසු නොවන බව වටහා ගැනීමත් සමගය.

ප්‍රතිඵලය - ප්‍රතිඥාව ඉටු කර නැත.

සංක්‍රමණිකයෝ

සංක්‍රමණිකයන් සම්බන්ධ මැතිවරණ පොරොන්දු ඉටුකිරීම පිණිස ජනාධිපති ට්‍රම්ප් පැහැදිලිවම ප්‍රබල උත්සාහයක් දැරුවේය.

මුස්ලිම් රටවල් කිහිපයකින් රට තුළට පැමිණෙන පුද්ගලයන් සීමා කිරීමට සහ අනාථයන් සම්බන්ධ එක්සත් ජනපදයේ වැඩසටහන නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය දෙවතාවක්ම උත්සාහ දැරීය.

එහෙත් අධිකරණ නියෝග කිහිපයක් හේතුවෙන් ජනාධිඅප්තිවරයාගේ එම විධායක නියෝග ක්‍රියාත්මක කිරීමට අතරමග ඇණහිට තිබේ.

Image copyright Getty Images

එක්සත් ජනපදය තුළ නීතිවිරෝධී ලෙසින් රැඳී සිටින සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කළ ට්‍රම්ප් පරිපාලනය, ෆෙඩරල් ආණ්ඩුවේ ආගමන විගමන නිලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු නොකරන නගරවලට තර්ජනය කළ අතර සංක්‍රමණිකයන් සම්බන්ධ වැඩසටහන් ගණනාවක් යළි සලකා බලමින් සිටියි.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනයේ පළමු සති හය ඇතුළත සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම 32.6% කින් ඉහල ගොස් ඇති අතර, එයින් අති බහුතරයක් කිසිදු අපරාධයකට සම්බන්ධ බවට වාර්තා නැති බව වොෂින්ටන් පොස්ට් පුවත්පත පවසයි.

ප්‍රතිඵලය - අධිකරණයේ බාධා හමුවේ පවා ප්‍රතිඥාව ඉටු කර තිබේ.

විදේශ ප්‍රතිපත්තිය

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශන බොහෝ විට එකිනෙකට පරස්පර වූ අතර, අත්මවිට විවාදයටද තුඩු දුන්නේය.

ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය, ඉරානය සහ චීනයට එරෙහිව දැඩි ආකල්පයක් අනුගමනය කරන බවට ප්‍රතිඥා දුන් ඔහු, ඊශ්‍රායලය සහ රුසියාව සමග සම්බන්ධතා යළි තරකරන බවත් සඳහන් කළේය.

රැඳවියන්ට වද බන්ධන පැනවීම සම්බන්ධ නීති විධිවිධාන ලිහිල් කරමින් ඇමෙරිකානු හමුදාවට තවත් බලතල පවරන බවට ඔහු ඉඟි කළේය.

සියල්ලටම වඩා ඇමෙරිකානු අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන බව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දිගින් දිගටම අවධාරණය කළේය.

ජනපති පදවියට පත්වීමෙන් අනතුරුව ඔහු උතුරු ඇමෙරිකානු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව සමාලෝචන ක්‍රියාදාමයක් ආරම්භ කර තිබේ.

ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ගේ බලපෑම හේතුවෙන් රැඳවියන්ට වද බන්ධන පැනවීම පිළිබඳ සංවාදය නතර වී තිබේ.

නේටෝ සංවිධානයේ වැදගත්කම ජනාධිපති ට්‍රම්ප් මෑතදී පිළිගත්තේය.

චීනය සම්බන්ධයෙන්ද ඔහු ප්‍රචාරක ව්‍යාපාරයේදීට වඩා මෘදු ආකල්පයක් අනුගමනය කරමින් සිටියි. චීන ආනයන සඳහා බදු ඉහල දමන බවට කළ තර්ජනයද අකුලා ගත ජනාධිපතිවරයා, ඒ වෙනුවට උතුරු කොරියාව සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස චීනයේ සහාය ලබාගැනීමට බලාපොරොත්තුවෙයි.

ප්‍රතිඵලය - ප්‍රතිඥාව ඉටු කළා හෝ නොකළා විය හැකිය. තීරණය ඔබට භාරයි.

සබැඳි විෂයයන්