කාශ්මීරයේ ගැටුම්;බෙදුම්වාදී නායිකාවක් අත්අඩංගුවේ

  • 2017 අප්‍රේල් 27
Image copyright EPA
Image caption කාශ්මීර් කතුන් ඉන්දීය හමුදාවන්ට ගල්වලින් පහර දෙමින්

ඉන්දීය කාශ්මීරයේ බෙදුම්වාදී නායිකාවක වන ආසියා අන්ද්‍රාබි මහජන ආරක්ෂාවට අදාළ නීති යටතේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

වසර තිහක් පැරණි ඉතිහාසයක් සහිත 'විශ්වාසයේ දියණියෝ' (Daughters of the Faith) නම් සංවිධානයේ නිර්මාතෘවරිය ඇයයි.

කාශ්මීරයේ රඳවනු ලැබ සිටින ඉන්දීය සොල්දාදුවන්ට ගල්වලින් පහර දීම සඳහා ගැහැණු ළමුන් සහ වැඩිහිටි කාන්තාවන් පොළඹවාලීමේ ක්‍රියාවලිය පිටුපස සිටින බවට ආසියා අන්ද්‍රාබි චෝදනා ලබන්නීය.

මේ අතර,ඉන්දීය කාශ්මීරයේ කුප්වරා (Kupwara) ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සොල්දාදුවන් තුන් දෙනකු මරා දමා ඇත.

Image copyright AFP
Image caption ඉන්දියාව තමන් යටත් කරගෙන සිටින බව හඟින තරුණ විරෝධය

එම ගැටුමේ දී ප්‍රහාරකයන් දෙදෙනකු ද මරා දැමුණි.

'කුප්වරා' පිහිටා තිබෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරය බෙදා වෙන් කෙරෙන අධි ආරක්ෂක වැඩ පිළිවෙළක් සහිත දේශ සීමාව අසලයි.

Image caption දරුණු අතට හැරෙන ගැටුම්

සමාජ මාධ්‍ය ජාලයට තහංචි

සති කීපයක් ප්‍රාන්තයේ උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී වාතාවරණය යටතේ සමාජ මාධ්‍ය ජාලයේ ෆේස් බුක් ,ට්විටර් සහ වට්සැප්(WhatsApp) පාවිච්චිය මාසයකට තහනම් කරන බව ඉන්දීය කාශ්මීර් පාලනය නිවේදනය කරයි.

මහජනයාගේ යහපත සඳහා එවැනි තහංචියක් පනවන බව ප්‍රාන්ත ආණ්ඩුව විසින් නිකුත් කරන ලද තහනම් නියෝගයක දැක්වෙයි.

ආණ්ඩු විරෝධී බලවේග සමාජ මාධ්‍ය ජාලය අනිසි ආකාරයට පාවිච්චි කරන බවත් එම නිවේදනය පවසයි.

Image copyright Abid bhat
Image caption විරෝධතාවාදීන් සහ පොලිසිය අතර ගැටුමක්

නාඳුනන තුවක්කු කරුවන් විසින් දේශපාලඥයන් තුන් දෙනකු මරා දමන ලද බව කාශ්මීර් පොලිස් වාර්තාවන්හි දැක්වෙයි.