යමීන් හුසේන් ඝාතනය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ?

  • 2017 අප්‍රේල් 28
Image copyright Getty Images
Image caption යමීන් හුසේන් මාධ්‍යවේදියාගේ පියා - රෂීඩ් හුසේන්

මාලදිවයිනේ බ්ලොග් මාධ්‍යවේදී යමීන් රෂීඩ් ඝාතනය සම්බන්ධයෙන් රට තුළ සාධාරණ පරීක්ෂණයක් නොපැවැත්වෙන හෙයින් ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය කරන බව මරා දැමුණ මාධ්‍යවේදියාගේ පියා ඉල්ලීමක් කරයි.

යමීන් රෂීඩ් මාධ්‍යවේදියාගේ පියා වන හුසේන් රෂීඩ් කොළඹ සිට දුරකතනය මගින් බීබීසී සිංහල සේවය අදහස් දක්වමින් මාලදිවයිනේ ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇතත් තවමත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවට චෝදනා කරයි.

සියපුත් මාධ්‍යවේදී යමීන් රෂීඩ් සිය නිවස පිටුපස තරප්පු පෙළක් මත මරා දමා තිබුණ අතර ඔහුගේ සිරුරේ පිහි ඇනුම් පහර දහසයක් දක්නට ලැබුණු බවත් ඔහුගේ පියා පවසයි.

මාලදිවයින් රජය මෙම ඝාතනය හෙළාදකින බව ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ ප්‍රකාශකයෙක් කියා තිබුණි.

"මම අපේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. කිසිදු පියවරක් ගත්තේ නැහැ. මම කොළඹට ඇවිත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මුණගැහිලා ශ්‍රී ලංකාවේ උදව් ඉල්ලුවා.ඒ නිලධාරියා කිව්වේ මාල දිවයින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් සිදු කෙරුනේ නැත්නම් මැදිහත්වීම අතින් නීතිමය ගැටළු ඇති බවයි. මම ඒ ගැන අපේ ආණ්ඩුවට සහ ජනාධිපති තුමාට දැනුම් දුන්නා. ඒත් ඒ ගැන කිසිම පියවරක් අරගෙන නැහැ," හුසේන් රෂීඩ් පවසයි.

සිය රට තුළ මින්පෙර සිදු වූ මෙවැනි ඝාතන සම්බන්ධයෙන් ද සාධාරණ පරීක්ෂණ සිදු නොවූ බව පවසන හුසේන් රෂීඩ් සිය පුතුගේ ඝාතනය සම්බන්ධයෙන් ද එවැන්නක් සිදු වනු ඇතැයි විශ්වාසය තැබිය නොහැකි හෙයින් තමා ජාත්‍යන්තර පරීක්ෂණයක් කෙරෙහි යොමුවෙන බව කියා සිටියි.

"මාල දිවයින තුළ සිදු කෙරෙන පරීක්ෂණ ගැන මට විශ්වාසයක් නැහැ.මේ දක්වා කිසිම දෙයක් සිදු වෙලත් නැහැ.මම පරීක්ෂණ භාර නිලධාරියා හමුවුනා. ඔහු කිව්වා -තමා මාලේ අගනුවර නොසිටි බව. දෙවැනි නිලධාරියාත් කිව්වේ ඒ කතාවමයි. එහෙම තමයි වැඩ සිද්ධ වෙන්නේ. ඔක්කොම සැකසහිතයි," හුසේන් රෂීඩ් බීබීසිය සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

යමීන් හුසේන් ඝාතනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මාලදිවයිනේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වී වසර තුනහමාරක් වූ පාලන සාමය තුළ සිය විරුද්ධවාදීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඇතැම්හු රටින් පලා ගියහ.

ඝාතනයට ලක් වූ ලේඛකයා මානව හිමිකම් සහ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි වීරයෙකු බව මාලදිවයිනේ සිටින එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය තානාපතිවරු ප්‍රකාශ කළහ.

ඉස්ලාමීය කණ්ඩායම් ලෙසින් හඳුන්වාගත් පිරිසක් ද සිය පුතාට තර්ජන එල්ල කළ නමුත් පුතාගේ ඝාතනයට එවැනි කණ්ඩායමක සම්බන්ධයක් තිබෙන්නේ දැයි තමන් නොදන්නා බවත් හුසේන් රෂීඩ් වැඩිදුරටත් පැවසීය.