මැසිඩෝනියා පාර්ලිමේන්තුවට  විරෝධතාකරුවෝ කඩාවදිති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැසිඩෝනියා පාර්ලිමේන්තුවට විරෝධතාකරුවෝ කඩාවදිති

  • 2017 අප්‍රේල් 28

ඇල්බේනියානු වාර්ගික කතානායකවරයකු පත්වීමට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 27) මැසිඩෝනියාවේ පාර්ලිමේන්තුවට කඩා වැදුණහ.

එහිදී ඇතිවූ ගැටුමේදී අවම වශයෙන් පුද්ගලයන් දස දෙනෙකුට තුවාල සිදුවූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායක සොරාන් සයෙෆ්ගේ හිසින් රුධිරය ගලා යනු දක්නට ලැබුණි.

හිටපු අගමැති නිකොලා ගෘවෙව්ස්කි ගේ VMRO පක්ෂයේ හිතවාදීන් බවට සැළකෙන එම විරෝධතාකරුවෝ නව මැතිවරණයක් ඉල්ලා සිටියහ.

පැරණි යුගෝස්ලාවියා ජනරජයට අයත්ව තිබූ මෙසිඩෝනියාවේ දේශපාලන තත්වය දෙසැම්බර් මාසයේ පැවති මැතිවරණයත් සමග දැඩි ව්‍යාකුල තත්වයකට පත්ව තිබේ.

එහෙත් මෙම දේශපාලන ආරවුල් වල ආරම්භය වසර දෙකකට පෙර සිදුවූ දුරකථන සංවාදවලට රහසින් සවන්දීමේ සිදුවීම හා බැඳී පවතී.

ඇල්බේනියානු පක්‍ෂ සමග එක්ව සභාග රජයක් පිහිටුවීමට ප්‍රජාතන්ත්‍රවාදී නායක සොරාන් සයෙව් ගත් උත්සාහයට ජනාධිපතිවරයා විසින් බාධා එල්ලකරනු ලැබ තිබේ.

මැසිඩෝනියාවේ ජනගහනයෙන් හතරෙන් එකක ප්‍රමාණයක් ඇල්බේනියානු වාර්ගිකයින්ගෙන් සමන්විතවේ.

Image copyright EPA
Image caption ප්‍රජාතන්ත්‍රවාදී නායක සොරාන් සයෙව් ගේ හිසින් රුධිරය ගලායමින් තිබුණි

පාර්ලිමේන්තුවට කඩා වැදුණු පිරිස කෝපයට පත්වී සිටියේ ටලට් ශාෆෙරි කතානායකවරයා ලෙස පත්කිරීමට යෝජනාවීම හේතුවෙනි.

200 ක් පමණවූ විරෝධතාකරුවන්ගෙන් ඇතැමුන් මුහුණු ආවරණය කරගෙන සිටි අතර සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ බිම විසිරුණු බිඳුණු වීදුරු කැබලි සහ ශාලාවලට ඇතුල්වෙන ස්ථානවල ලේ පැල්ලම් තිබුණු බවය.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට යොදාගන්නා අත්බෝම්බ යොදාගනිමින් පොලීසිය දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවෙන් ඉවතට යාමට ඉඩකඩ සැලසු බව වාර්තාවේ.

ඇල්බේනියානු ජාතිකයන්ගේ නැගිටීම හේතුවෙන් 2001 වසරේදී මෙසිඩෝනියාවේ සිවිල් යුද්ධයකට ආසන්න තත්වයක් ඇතිවිය.