චීනය ‘ඇමරිකානු ඔත්තුකාරිය’ පිටුවහල් කරයි

  • 2017 අප්‍රේල් 29
Image copyright Savesandy.org
Image caption සැන්ඩි පෑන් ගිලිස් (ඡයාරූපයේ මැද) චීනයේ සංචාරය කළේ හුස්ටන් නගරය සහ චීනය අතර ව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා යයි පවසන්නීය

රහස් ඔත්තුකාරියක් යයි චෝදනා ලද ව්‍යාපාරික කාන්තාවක් පිටුවහල් කරන ලෙස චීන අධිකරණයක් දුන් තීන්දුවකට පසු ඇය යළි ඇමරිකාවට ලඟා වූවාය.

සැන්ඩි පෑන් ගිලිස් නම් එම කාන්තාවට චීන අධිකරණයක් මේ අඟහරුවාදා වසර තුන හමාරක සිරදඬුවමක් නියම කරන ලද නමුත් ඇය එම දඬුවම ගෙවා දැමීමට පෙර පිටුවහල් කොට ඇත.

නඩු විභාගයට පෙර ඇය වසර දෙක හමාරක කාලයක් රැඳවුම් භාරයේ පසු වූවාය.

පෑන් ගිලිස් චීන සම්භවයක් ඇති කාන්තාවක් වුවද ඇය උපතලබා ඇත්තේ වියට්නාමයේය.

ඇමරිකාවේ ටෙක්සාස් හි ව්‍යාපාරික කාන්තාවක් ලෙස චීනයේ සංචාරය කරමින් සිටියදී 2015 වසරේදී චීන බලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුණි.

ඇගේ ස්වාමියා වන ජෙෆ් ගිලිස් ප්‍රකාශ කළේ තම බිරිඳ 1996 වසරේදී දෙවතාවක් චීනයේ සංචාරය කළේ ඔත්තු බැලීමට යයි චීනය චෝදනා කළ බවය.

එසේම ඇමරිකාවේ සිටි චීන රහස් ඔත්තුසේවා සාමාජිකයන් දෙදෙනෙකු අල්ලා ගැනීමට FBI සංවිධානය සමග කටයුතුකළ බවටද ඇයට චෝදනා එල්ල විය.

පසුගිය වසරේදී මේ චෝදනාව පිළිබඳව ප්‍රකාශයක් කරමින් පෑන් ගිලිස්ගේ සැමියා පැවසුවේ ,තම බිරිඳ 1996 වසරේදී චීනයේ සංචාරය නොකළ බව විදේශ ගමන් බලපත්‍රය මගින්ද සනාථ වී තිබියදී එවැනි චෝදනාවක් කිරීම 'විකාරයක්' බවය.

අත්අඩංගුවට පත් පෑන් ගිලිස් මාස හයක කාලයක් රහසිගත ස්ථානයක රඳවා සිටි අතර පසුව බන්ධනාගාර ගත කෙරුණි.

කෙසේවුවද, සිකුරාදා දකුණුචීනයේ ගුවංශෞ නගරයෙන් පිටත්වූ තම බිරිඳ එදිනම ලොස්ඇන්ජලීස් වෙත පැමිණි බව ජෙෆ් ගිලිස් පැවසීය.

පනස් හත් වැනි වියේ පසුවන පෑන් ගිලිස් යළි ඇමරිකාවට පැමිණීමෙන් චීනය සහ ඇමරිකාව අතර පැවති රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අවුල සමනය වන අතර දෙරට අතර මෑතකදී ඇරඹි නව සබඳතා යහපත් අතට හැරීමක් ද එමගින් ප්‍රදර්ශනය කෙරෙයි.

ඇමරිකානු රාජ්‍යලේකම් රෙක්ස් ටිලර්සන්ගේ චීන සංචාරයේදී පෑන් ගිලිස් නිදහස් කරගැනීම පිලිබඳවත් සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

චීන නායක ෂි ජින් පිං පසුගියදා ෆ්ලොරිඩා හිදී හමුවීමෙන් පසු ඔහු ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්වූ අතර බ්‍රහස්පතින්දා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබුණේ චීන ජනාධිපති ෂි ජින් පිං "හොඳ මිනිසකු" බවය.