'ෆැරෝ දූපතට මනාලියන් අවශ්‍යයි'

  • 2017 අප්‍රේල් 29
Image caption අතායා සිය සැමියා ජෑන් සහ පුතු ජේකබ් සමග

ෆැරෝ දූපතේ ජීවත්වන පිරිමින්ට අසාමාන්‍ය ගැටලුවකට මුහුණදීමට සිදුවී ඇත. ඒ එම දූපතේ කාන්තාවන් හිඟ වීමය.

එබැවින් විවාහය සඳහා තායිලන්තය සහ පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් සොයාගැනීමට ෆැරෝ වාසී පුරුෂයෝ හුරුවී සිටිති.

ෆැරෝ දුපත පිහිටා ඇත්තේ නොර්වේ රාජ්‍යය සහ අයිස්ලන්තය අතරයි.

අතාවා ස්ලේටලිඩ් එලෙස ෆැරෝ දුපත්වාසියෙකු සමග විවාහවී පැමිණි තායිලන්ත කාන්තාවකි. එහෙත් මාස හයක් තරම්වූ දීර්ඝ ශීත කාලයක් ඇති ෆැරෝ දූපතට පැමිණි මුල් කාලයේදී දවස පුරා ඇය උණුසුම් 'හීටරය' අසළට වී කල් ගත කළාය.

"හැමෝම මට කතා කළා එළියේ හොඳට ඉර පායලා තියනව. එන්න එළියට කියල. එතකොට මම කිව්වෙ අනේ මට මෙතන ඉන්ඩ දෙන්න, මට හරි සීතලයි කියල" යනුවෙන් ඇය පවසයි.

අතාවා ෆැරෝ දූපතට පැමිණ වසර හයක කාලයක් ගතවී ඇත. ඇගේ ස්වමියාවන ජෑන් ඇයට හමුවූයේ තායිලන්තයේ ව්‍යාපාරයක් අරඹා සිටි ෆැරෝ ජාතික හිතවතෙකු මගිනි.

අතිශය වෙනස් සංස්කෘතියකට උරුමකම් ඇති තම තායි ජාතික බිරිඳ ෆැරෝ දේශයට රැගෙන එන විට එය ඇය සහ ඔහු දෙදෙනාටම අභියෝගයක් වන බව ජෑන් දැනසිටියේය.

සංස්කෘතිය පමණක් නොව දේශගුණය, භුමියේ ස්වභාවය සහ පරිසරය පවා ඇයට නව අත්දැකීමක් වන බව ඔහු තේරුම් ගෙන සිටියේය.

එහෙත් අතායා ගේ ගති පැවතුම් අනුව ඒ සියල්ලටම ඔරොත්තු දීමේ හැකියාව ඇයට ඇති බවද ඔහු දන සිටියේය.

දැනට තුන්සීයකට වැඩි තායිලන්ත සහ පිලිපීන ජාතික කාන්තාවන් පිරිසක් ෆැරෝ දුපතේ වාසය කරති.

එම සංඛ්‍යාව එතරම් විශාල බවක් නොපෙනුණද මුළු ජනගහනය පනස් දහසක් පමණ වන ෆැරෝ දූපත් 18 තුළ වඩාත් විශාලතම සුළුජන ප්‍රජාව බවට පත්වී ඇත්තේ ඔවුන්ය.

මෑතකාලයක සිට ෆැරෝ දූපත් ජනගහණය අඩුවෙමින් පැවතුණි.

එයට හේතුව ලෙස සැලකෙන්නේ අධ්‍යාපනය සඳහා විදෙස්ගතවන තරුණ පරපුර යළි සිය රට නොපැමිණීමය.

විශේෂයෙන්ම තරුණියන් බොහෝ විට විදෙස් රටවල වාසය තෝරාගනිති.

එරට අග්‍රාමාත්‍ය අක්සෙල් ජෝහැන්සන් පවසන ආකාරයට දළවශයෙන් කාන්තාවන් ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා දෙදහසක් අඩුවෙන් පවතී.

ෆැරෝ පුරුෂයන්ට කාන්තාවන් සොයාගැනීමට දූපතෙන් පිට සොයාබැලීමට සිදුව ඇත්තේ එහෙයිනි.

සියල්ලන්ම නොවුනත් බොහෝ ආසියානු කාන්තාවන්ට ෆැරෝ සහකරුවන් හමුවී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේය.

ඒ සඳහා වූ විශේෂ වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍යජාලා ඔස්සේද ඔවුන් මුණගැසෙන අතර දැනටමත් එලෙස විවාහවී සිටින පුද්ගලයන්ගේ හිතවත්කම් මගින්ද සම්බන්ධතා ඇතිවේ.

නිල වශයෙන් ඩෙන්මාර්කයේ කොටසක් ලෙස සැලකෙන ෆැරෝ රාජ්‍යයේ වැසියනට ඔවුනටම ආවේණික වූ භාෂාවක් සහ සංස්කෘතියක්ද පවතී.

යාබද අයිස්ලන්තය තරමට ශීත දේශගුණයක් නොපැවතියද උෂ්ණ කාලයේදී සෙන්ටිග්‍රේඩ් අංශක 16 ක පමණ උණුසුමක් පවතී.

ෆැරෝ දූපත් වාසය සඳහා අලුතින් පැමිණෙන පිරිස් වලට සහයවීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය අක්සෙල් ජෝහැන්සන් පවසයි.

" මේ ඇවිත් ඉන්න ආසියානු කාන්තාවන් රැකියාවලදී ඉතා කඩිසරයි. ඒක හොඳ දෙයක්. අපේ එක අරමුණක් තමයි ඔවුන්ට ෆැරෝ භාෂාව ඉගැන්වීම. අපි ඔවුන්ට නොමිළේ භාෂා පන්ති පවත්වනව" යනුවෙන් ඔහු පවසයි.

Image caption ක්‍රිස්ට්ජාන් සහ බුන්ලොම්

ක්‍රිස්ට්ජාන් අර්නසන් ද තායි ජාතික බිරිඳක් සිටින ෆැරෝ වැසියෙකි. 2002 වසරේදී පැමිණි ඔහුගේ බිරිඳ බුන්ලොම් ට භාෂාව පළමුවෙන්ම උගැන්වීමට ඔහු පියවර ගත්තේය.

සංක්‍රමණිකයන්ගේ පැමිණීම යුරෝපයේ බොහෝ රටවල ගැටලුවක්ව පවතින වකවානුවක ෆැරෝ සමාජය විදේශිකයන්ගේ පැමිණීම ඉතා සාදරයෙන් පිළිගැනීම සුවිශේෂී කරුණකි.

ඩෙන්මාර්ක් පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකුද වන ෆැරෝ දේශපාලනඥයෙකු පැවසුවේ මෙම ආසියානු කාන්තාවන් තම රටට පැමිණ රැකියාවල යෙදෙන අතර රටට කිසිදු ගැටලුවක් ඇති නොකරන බවය.

බ්‍රිතාන්‍යය, ස්වීඩනය, ඩෙන්මාර්කය ඇතුළු වෙනත් යුරෝපා රටවල මෙන් රට තුළට පැමිණෙන විදේශිකයන්ට හුදකලා වීමට ඉඩදී උප සංස්කෘතීන් බිහිවීමට ඉඩහැරීමෙන් ගැටළු ඇතිවෙන බව පැවසූ ඔහු තම රටේ එවැනි තත්වයක් ඇතිනොවීමට වග බලාගන්නා බවද සඳහන් කළේය.

පිලිපීනයේ සිට ෆැරෝ දුපතට පැමිණ සිටින ඇන්ටනට් එඝෝම් පවසන්නේ විදේශිකයෙකු වීමෙන් තමනට කිසිදු ගැටලුවක් ඇතිවූයේ නැති බවය.

මිනිසුන් ඉතා සුහදශීලී වන අතර පිලිපීනයේ මෙන් සොරකම්, පරිසර දුෂණය හෝ මිනී මැරුම් නොමැති බව ඇය සඳහන් කළාය. සෞඛ්‍ය සහ අධ්‍යාපනය නොමිලේ ලබාගැනීමට හැකිවීමත් ඇයගේ ප්‍රශංසාවට ලක්විය.