ජනපති ට්‍රම්ප්ගේ පළමු දින සියය

  • 2017 අප්‍රේල් 29
Donald Trump at his desk Image copyright Reuters

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයේ දිවුරුම් දී අදට(අප්‍රියෙල් 29) දින සියයක් සම්පුර්ණ වෙයි.

සිය ධුරයේ පළමු දින සියය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කිරීම "පහසු කටයුත්තක්" යයි තමන් මුලදී සිතූ බව ප්‍රකාශ කොට ඇත.

"මම මගේ ඉස්සර ජීවිතේට ආදරය කළා. ඉස්සරට වඩා දැන් වැඩ වැඩියි. මම හිතුවේ මේක පහසු කටයුත්තක් වේවි කියලා" ඇමරිකානු ජනාධිපතිවරයා රොයිටර් පුවත් සේවයට පැවසීය.

ව්‍යාපාරිකයෙකු සහ රූපවාහිනී තරුවක් වශයෙන් කටයුතු කළ සමය හා සැසඳීමේ දී අද වනවිට සිය පෞද්ගලිකත්වය සීමා වී ඇති බව කියා සිටි ජනාධිපතිවරයා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ දිවි ගෙවීමට තමන් හුරු වෙමින් සිටින බව සඳහන් කළේය.



එමෙන්ම මෝටර් රථයක් පදවමින් එහා මෙහා යෑමට තිබූ අවස්ථාව තමන් වෙතින් ගිලිහී ඇති බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටී.

Image copyright EPA

අසල්වැසි මෙක්සිකෝව හා ඇමරිකාව අතර වූ දේශ සීමාවේ තාප්පයක් ඉදි කිරීම සහ මුස්ලිම් රටවල් නවයකට අයත් පුරවැසියන්ට රට තුළට ඇතුළුවීම වළකාලමින් වීසා බලපත්‍ර නිකුත් නොකිරීමට විධායක නියෝගයක් ලබා දීම ඇතුළු ඔහු විසින් ගෙනන ලද යෝජනා සහ ක්‍රියාමාර්ග ගණනාවක් මතභේදයට ලක් විය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා ගේ පළමු දින සීය පිළිබඳව බීබීසී සංදේශය එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කීප දෙනකුගෙන් විමසු විට පොරොන්දු ඉටු කිරීමේ මන්දගාමීභාවයක් පෙනී යන බව ඔවුන්ගෙන් කීපදෙනෙක් ප්‍රකාශ කළහ.

ශ්‍රේෂ්ඨාධිකරණයට කෘතහස්ත නීතිවේදියකු පත්කිරීම හැරුන විට ජනාධිපතිවරයාගේ අනිත් සියලු ප්‍රතිඥා මෙතෙක් ඉටු නොවූ බව ඉලිනොයි ප්‍රාන්තයේ වෙසෙන මහින්ද රණවක පවසයි.

ජනාධිපතිවරයා කාර්යයේ නිරත වීම මගින් පරිචයක් ලබාගනු ඇතැයි දොස්තර ජයසූරිය ප්‍රනාන්දු බලාපොරොත්තු පළ කරයි.

ජනාධිපති ට්‍රම්ප් චීනය සමඟ සුහදත්වය වර්ධනය කර ගැනීමත් දොස්තර ජයසූරිය ප්‍රනාන්දුගේ අගය කිරීමට ලක්විය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර