ට්‍රම්ප්ගෙන් දුතාර්තේට දුරකථන ඇමතුමක්

  • 2017 අප්‍රේල් 30
Image copyright EPA

සංචාරයක් සඳහා ධවල මන්දිරයට පැමිණෙන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ දුතාර්තේ ට ආරාධනා කරනු ලබයි.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති "ඉතා මිත්‍රශීලී" දුරකථන සංවාදයක් අතරතුර ජනාධිපති ට්‍රම්ප් මෙම ආරාධනය කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයා ආරම්භකර ඇති සටන පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවී ඇත.

පිලිපීනයේ ජනාධිපති පදවියට රොඩ්රිගෝ දුතාර්තේ පත්වීමෙන් අනතුරුව ආරම්භවූ මෙම සටන මතභේදයට ලක්වී ඇති අතර වසරක් ඇතුළත පුද්ගලයන් 7000ක් පමණ මරණයට පත්වී ඇති බව වාර්තා විය.

ට්‍රම්ප්ගේ සතුට

Image copyright Reuters
Image caption ධවල මන්දිරය ප්‍රකාශ කළේ ජනාධිපති ට්‍රම්ප් මෙම දුරකථන ඇමතුම පිළිබඳව සතුටු වූ බවය

දෙරටේ නායකයන් දෙදෙනා අතර පැවති දුරකථන සංවාදයේ දී උතුරු කොරියානු අර්බුදයද සාකච්ඡාවට බඳුන්වී තිබේ.

පිලිපීන ජනාධිපතිවරයා වොෂින්ටනයට පැමිණෙන දිනය මේවනතෙක් නියමවී නොමැති නමුත් ධවල මන්දිරය ප්‍රකාශ කළේ ජනාධිපති ට්‍රම්ප් මෙම දුරකථන ඇමතුම පිළිබඳව සතුටු වූ බවය.

මතභේදයට ලක්ව සිටින පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ සමග පැවැත්වීමට නියමිතව තිබූ හමුවක් එවකට ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා විසින් අවලංගු කරනු ලැබ තිබුණි.

'වෛශ්‍යාවකගේ පුතෙකු'

ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා 'වෛශ්‍යාවකගේ පුතෙකු' ලෙස පිලිපීන ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබීම ඊට හේතු විය.

ඒ අනුව අග්නිදිග ආසියානු රටවල සමුළුව නොහොත් 'ආසියාන්' (ASEAN) සමුළුව ලාඕසයේ දී ආරම්භවූයේ රාජ්‍යතාන්ත්‍රික නොමනාපයක් සමගය.

පිලිපීන ජනාධිපතිවරයා මෙවැනි නොමනා වදන් වලින් ඇමතුවේ ඇමරිකානු ජනාධිපතිවරයා පමණක් නොව.

කුලී ඝාතකයන්

මීට ප්‍රථම පාප් වහන්සේ 'වෛශ්‍යාවකගේ පුතෙකු' ලෙස හැඳින්වූ ඔහු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජොන් කෙරී "ක්‍රේසි" ලෙස නම් කළේය.

ඉන් නොනැවතුණු ඔහු පිලිපීනයේ ඇමරිකානු තානාපතිවරයාව හඳුන්වා තිබුණේ "වෛශ්‍යවකගේ සමලිංගික පුතෙකු" ලෙසටය.

පිලිපීනයේ අපරාධ අඩුකිරීම පිණිස අපරාධකරුවන් ලක්ෂයක් මරාදමන බව ජනාධිපති දුතාර්තේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

ඔහු මේ බව පැවසුවේ, තමන් නගරාධිපතිවරයාව සිටිය දී මත්ද්‍රවය විරෝධී වැඩසටහනක් ආරම්භකර කුලී ඝාතකයන් යොදාගත් බවට ඔහුට චෝදනා එල්ලවූ දවාවෝ නගරයේදීය.