ඩෙංගු - බස්නාහිර පාසල් 106 කට නඩු

  • 2017 මැයි 3

බස්නාහිර පළාතේ පාසල්වල ඩෙංගු මදුරු පරීක්ෂාවෙන් අනතුරුව මදුරු කීටයින් සහිත පාසල් පරිශ්‍ර 298 ක් හඳුනාගැනීමට හැකි වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එයින් පාසල් 106 කට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙම ඩෙංගු මදුරුවන් සහිත පාසල් පරිශ්‍ර සොයා ගෙන තිබෙන්නේ පසුගිය අප්‍රේල් මස 28 සහ 29 දෙදින තුල බස්නාහිර පළාතේ පාසල් ඩෙංගු මදුරු මර්දනය වෙනුවෙන් කළ පවිත්‍රතා පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදීය.

2017 වසරේ පළමු මදුරු මර්දන සතිය සහ ඉන්පසුව පැවති විශේෂ මදුරු මර්දන වැඩසටහන් තුළ මදුරුවන් බෝවන ස්ථාන සහිත පාසල් 763 ක් සහ මදුරු කීටයින් සහිත පාසල් 121 ක් මින් පෙර හඳුනාගෙන තිබුණි.

'මාස හතරක් තුළ 40264 ක්'

ඉන් අනතුරුව පසුගිය 28 සහ 29 යන දෙදින පාසල් පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන්, පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව කටයුතු කළ අතර, පාසල් පරිශ්‍ර 2091 ක් නිවැරදි කිරීමටත්, 630 කට අවදානම් නිවේදන නිකුත් කිරීමටත්, 106 කට නඩු පැවැරීමටත් එහිදී තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කිසියම් පාසලක මදුරු කීටයින් බෝවන ස්ථාන හමු වුවහොත් එම පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යාංශ බලධාරීහු පවසති.

ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වන විදුහල්පතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අධ්‍යාපන අමාත්‍යාංශයද අනතුරු අඟවා තිබේ.

මේ වසරේ පළමු මාස 4 ඇතුළත පමණක් ඩෙංගු රෝගීන් 40264 දෙනෙකු වාර්තා වී ඇති අතර එයින් 40.53%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

2016 වසර පුරාම වාර්තා වී තිබෙන්නේ ඩෙංගු රෝගීන් 55,150ක් පමණි.