"අලි ඉල්ලන හාමුදුරුවන්ට හරක් මරන්න විරුද්ධ වෙන්නත් බැහැ"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"අලි ඉල්ලන හාමුදුරුවන්ට හරක් මරන්න විරුද්ධ වෙන්නත් බැහැ"

  • 2017 මැයි 3

ආගමික කටයුතු සඳහා බව පවසමින් නීති විරෝධීව ළඟ තබාගෙන සිටි අලි පැටවුන් සහ පින්නවල අලි අනාථාගාරයේ සිටින අලින් බාහිර පාර්ශවයන්ට ලබාදීමට රජය ගෙන ඇති තීරණය පරිසර සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ.

නීති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගත් පුද්ගලයන් අධිකරණ ක්‍රියාමාර්ග මාර්ගයෙන් නිදහස් කරමින් එම අලි පැටවුන් "නීති විරෝධි ලෙස නීතිගත කිරීමේ" කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙන බව කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ජෛව විවිධත්වය සංරක්ෂණ මධ්‍යස්ථානයේ පුබුදු වීරරත්න චෝදනා කළේය.

පෙරහැර සඳහා අලි ඇතුන් හිඟ බව පවසමින් මෙලෙස අලි ඇතුන් ලබාගන්නේ ව්‍යාපාරික අරමුණු සහිතව බවට චෝදනා කරන ඔහු, පෙරහැර සඳහා අලි ඇතුන් අවශ්‍ය නම් රජයට පින්නවල ඇතුන් පිරිසක් පුහුණුකර අවශ්‍ය විට ඔවුන් ලබා දිය හැකි බවත් අවධාරණය කරයි.

මාධ්‍ය හමුව ඇමතූ ජාතික සංඝ සම්මේලනයේ ආනන්ද සාගර හිමියෝ, විහාරස්තානවලට අලි ඇතුන් ලබාදීම දැඩි විවේචනයට ලක් කළහ.

විහාරස්තාන එලෙස අලි ඇතුන් ඉල්ලා සිටින්නේ ව්‍යාපාරික අරමුණු සහිතව බවට උන්වහන්සේ චෝදනා කළහ.

"මොකටද පන්සල්වලට අලි ඉල්ලන්නේ අවුරුද්දකට වතාවක් කරන පෙරහැරකට? ඒ පෙරහැරෙන් පස්සේ කොළඹ නගරයේ තියෙන පර්චස් 10-15 පන්සල්වල මේ සතාව ගැටගහලා අන්ත අසරණ දුක් විඳිනවා," ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

කොළඹ විහාරස්තානවල වැඩ වාසය කරන ඇතැම් භික්ෂුන් වහන්සේ මෙලෙස අලි ලබාදෙන ලෙස දේශපාලකයන්ට බලපෑම් කරන බව පවසන එහිමියෝ, අලි ඇතුන් පන්සල්වල හිරකාරයන් බවට පත්කරන මෙම වැඩපිළිවෙලට සියලු දෙනා විරුද්ධ විය යුතු බවට ඉල්ලීමක්ද කළහ.

සබැඳි විෂයයන්