මුස්ලිම් හින්දු ප්‍රේමය තහනම් ද?

  • 2017 මැයි 3

මුස්ලිම් තරුණයෙකු හා හින්දු තරුණියක අතර පැවති පෙම් සබඳතාවකට උදව් කළ බවට චෝදනා ලත් මුස්ලිම් වැඩිහිටියෙකු ඝාතනයකර ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඝාතනයට ලක්වූ හැට හැවිරිදි මුස්ලිම් පුද්ගලයා ඉහත කී පෙම් යුවළට හොර රහසේ පලායාම සඳහා උදව් කළ බවට චෝදනා එල්ලවී තිබේ.

යකඩ පොලු

පස්දෙනෙකුගෙන් යුත් හින්දු භක්තික කණ්ඩායමක් පැමිණ යකඩ පොලුවලින් පහර දී මෙම පුද්ගලයා මරා දමා ඇති බව උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය පැවසීය.

හින්දු මුස්ලිම් පෙම් යුවළ වෙනත් ප්‍රදේශයකට පලාගොස් ඇත්තේ හින්දු අන්තවාදීන් තමන්ට හිංසා කරනු ඇති බවට පළවූ බියෙනි.

ඊයේ (මැයි 02) සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කළේය.

ගවයන් සොරාගැනීමට උත්සාහකළ බවට චෝදනා කරමින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ හින්දු පිරිසක් විසින් මුස්ලිම් තරුණයන් දෙදෙනෙකුට පහරදී මරා දමනු ලැබ ඇති බවද ඊයේ වාර්තා විය.

ගව ඝාතන

'හියුම රයිට්ස් වොච්' සංවිධානය පසුගිය සතියේ නිකුත්කළ වර්තාවක සඳහන් වන්නේ ගව ඝාතන චෝදනා මත 2015 මැයි මාසයේ පටන් මේ දක්වා අවම තරමින් මුස්ලිම්වරුන් දස දෙනෙකුවත් මරා දමා ඇති බවය.

මෙසේ මරාදමා ඇති අය අතර දොළොස් හැවිරිදි පිරිමි ළමයෙකුද සිටි බව එම වාර්තාවේ සඳහන් වෙයි.